උ.කොරියාවේ මිසයිල නිෂ්පාදනය අවසන් නැති බවට අනාවරණයක්


ට්‍රම්ප් පරිපාලනය සමග උතුරු කොරියාව නව සබඳතාවක් ඇති කර ගනිමින් සම්පූර්ණ න්‍යෂ්ටිකහරණයක් ගැන කතා කළද, උතුරු කොරියාව හොර රහසේ නව බැලස්ටික් මිසයිලයක් නිෂ්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.

වොෂිංටන් පෝස්ට් පුවත්පතට නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙකු විසින් මෙම අනාවරණය සිදුකර තිබේ.

උතුරු කොරියාව විසින් මීට පෙර බැලස්ටික් මිසයිල නිෂ්පාදනය සිදුකළ පරිශ්‍රයේදීම තවදුරටත් ඔවුන් ඒ කාර්යයන් සිදුකරන බව ඇමෙරිකානු බුද්ධි අංශ ඔත්තු සේවා චන්ද්‍රිකාවක් විසින් ග්‍රහණය කරගෙන ඇති බවද ඔහු පවසා ඇත.

මේ අතර, ඇමෙරිකානු නිලධාරියෙකු සම්බන්ධ කර ගනිමින් රොයිටර් පුවත් සේවය පවසා තිබුණේ මෙම මිසයිල වැඩපිළිවෙළ කොතරම් දුරට ඔවුන් සිදුකර ඇතිද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවයි.

පසුගිය ජූනි මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඓතිහාසික හමුවක් සිදුවිය.

දෙරටේ නායක දෙපළ ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවූ මෙම අවස්ථාවේදී සම්පූර්ණ න්‍යෂ්ටිකහරණයක් වෙනුවෙන් නායක දෙපළම ප්‍රතිඥා දෙනු ලැබීය.

එමෙන්ම, උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික අවදානමක් ඇති රටක් නොවන බවත් ට්‍රම්ප් පසුව පවසා සිටියේය.



Recommended Articles