ඊශ්‍රායල සොල්දාදුවන් අතින් පලස්තීන තරුණයෙකු මියයයි


බටහිර ඉවුරේ ඊශ්‍රායල සොල්දාදුවන් සමග ඇති වූ ගැටුමකින් පලස්තීන නව යොවුන් තරුණයෙකු මිය ගිය බව පලස්තීන අධිකාරිය පවසයි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, බටහිර ඉවුරේ බෙත්ලෙහෙම් නගරයට නුදුරින් අල්-ඛාදර් නගරයේ ඇති වූ ගැටුම්වලදී ඊශ්‍රායල සොල්දාදුවන් විසින් බෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊශ්‍රායලය පසුව කියා සිටියේ තම සොල්දාදුවන් එෆ්‍රාට් ජනාවාස අසලදී ඔවුන්ට ගල් හා ගිනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පිරිස ලුහුබඳින බවත් සැකකරුවන් අල් ඛාදර් වෙත පළවා හැරි බවත්ය.

ගැටුම් අතරතුර සොල්දාදුවන් වෙඩි තැබූ නමුත් මෙම තරුණයා ගිනි බෝම්බ හෙළන කල්ලියේ සාමාජිකයෙකුද නැතහොත් අසල සිටි අයෙකුද යන්න ඊශ්‍රායල හමුදාවට තහවුරු කර ගත නොහැකි වූ බව ඊශ්‍රායලය පවසයි.

මේ අතර, පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය වාර්තා කළේ බුර්කා, බීට් ඩජන්, බීටා සහ හුවාරා යන ගම්මානවල ඊශ්‍රායල සොල්දාදුවන් සමග ඇති වූ විරෝධතා සහ ගැටුම්වලදී පලස්තීන ජාතිකයන් 90කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි.

ඊශ්‍රායල රජයේ ජනාවාස පුළුල් කිරීමේ සහ ඉඩම් රාජසන්තක කිරීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව පලස්තීනුවන් සිකුරාදා රැස්වීම් සහ විරෝධතා සංවිධානය කළ අතර, පෙළපාලි බොහෝ විට ඊශ්‍රායල සොල්දාදුවන් සමග ගැටුම් ඇති කරයි.



Recommended Articles