ඉරානයේ යළි නැගිටි කොවිඩ් පාලනයට ජනතාවගේ සහාය ආධ්‍යාත්මික නායක ඉල්ලයි


ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම සැබවින්ම කනගාටුදායක තත්ත්වයක් ලෙස විස්තර කළ අතර, එය තවදුරටත් පැතිරීම වළක්වමින් වෛරසයට එරෙහිව සටන් කිරීමට ජනතාවගේ සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා තිබේ.

කමේනි ඉරිදා වීඩියෝ ඇමතුමකින් පැවසුවේ රට වෛරසයෙන් මුදාගැනීමේ වෙරළට ගෙන ඒම සඳහා කෙටි කාලීනව සම්ප්‍රේෂණ දාමය කෙටි කිරීම වෙනුවෙන් පුරවැසියන් තම කාර්යභාරය ඉටුකළ යුතු බවයි.

ඉරානය ඉරිදා දිනයේ වෛරසය ආශ්‍රිත නව මරණ 184ක් වාර්තා කළ අතර, ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශිකා සිමා සදත් ලාරි පවසන පරිදි රට පුරා මරණ 12,829ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 2,186ක් වාර්තා වී ඇති අතර ඉරානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 257,303ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝගීන් 3,359ක් දැඩි සත්කාර ඒකකයේ සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති.

කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 219,993 දෙනෙකු සුවය ලබා ඇති බව ඉරානය පවසයි. වෛරසය පැතිර ගිය මුල් අවධියේදී ඉරානය වඩාත් කැපීපෙනෙන ලෙස ආසාදිතයන් වාර්තා කරමින් ඉහළ පැමිණියත්, පසුව එය පාලනය කරගැනීමට ඉරානයට හැකිවිය. නමුත් මේ වනවිට යළිත් දෙවැනි රැල්ලක් ඉතරානය තුළ ඇති වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.



Recommended Articles