ඉරාකයේ කොවිඩ් රෝහලක ගින්නකින් ජීවිත රැසක් අහිමියි


ඉරාකයේ දකුණු නගරය වන නසිරියා හි කොරෝනා රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් ඇති වූ ගින්නකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස්, තවත් 67කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීන් සහ පොලීසිය පවසයි.

ජීවිත බේරාගැනීමට දුම් දමන ගොඩනැගිල්ල සමග සෞඛ්‍ය සේවකයන් දැඩි පරිශ්‍රමයක නිරතව සිටි අතර, රෝහල තුළ තවත් මළ සිරුරු ඇතැයි විශ්වාස කරන බව ඔවුහු පවසති.

අග්‍රාමාත්‍ය මුස්තාපා අල්-කද්මි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග හදිසි රැස්වීම් පවත්වා මෙම සිදුවීම සම්බන්ධයෙන් නසිරියා හි සෞඛ්‍ය හා සිවිල් ආරක්ෂක කළමනාකරුවන්ගේ වැඩ තහනම් කරමින්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ. එසේම මේ වනවිට රෝහලේ කළමණාකරුගේ සේවයද අත්හිටුවා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

මේ වන විටත් යුද්ධයෙන් හා සම්බාධකවලින් විනාශ වී ඇති ඉරාකයේ සෞඛ්‍ය සේවා පද්ධතිය කොරොන අර්බුදයට මුහුණ දීම සඳහා අරගලයක යෙදී සිටින අතර, වසංගතය හේතුවෙන් මේ වනවිට එරට පුද්ගලයන් 17,592ක් මිය ගොස් මිලියන 1.4කට වඩා ආසාදනය වී තිබේ.

ගින්න පාලනය කිරීමෙන් පසුව අල් හුසේන් කොරෝනා රෝහලේ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින නමුදු අධික දුමාරය නිසා පිළිස්සුණු වාට්ටුවලට ඇතුළු වීමට අපහසු බව නසිරියා හි සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

මූලික පොලිස් වාර්තා අනුව රෝහලේ කොවිඩ්-19 වාට්ටු තුළ ඔක්සිජන් ටැංකියක් පුපුරා යාම ගින්නට හේතුව විය හැකි බව ගින්න හටගත් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙක් පැවසීය.

අප්රේල් මාසයේදී බැග්ඩෑඩ් හි කොවිඩ්-19 රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු මිය ගොස් 110 දෙනෙකු තුවාල ලැබීය.

සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බැවිනි. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෝපයට පත් ඥාතීන් රෝහල ඉදිරිපිට රැස් වී පොලිසිය සමග ගැටී පොලිස් වාහන දෙකකට ගිනි තැබූ බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles