ඉරාක කොවිඩ් රෝහල් ගින්න - මරණ 92ක්, කෝපය ඉහළට


දකුණු ඉරාකයේ රෝහලක කොරෝනා වාට්ටුවක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර,  සිද්ධිය සම්බන්ධයෙන් බොහෝදෙනාගේ කෝපය උත්සන්න වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

දශක ගණනාවක යුද්ධ හා සම්බාධක මධ්‍යයේ රටේ අබලන් වූ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉස්මතු කරමින් නසිරියාවේ අල් හුසේන් ශික්ෂණ රෝහලේ සඳුදා රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද බලධාරීහු පවසති.

දෝෂ සහිත විදුලි රැහැන්වල ඇති වූ විදුලි කාන්දුවක් සමග එය ඔක්සිජන් ටැංකියකට පැතිරීමෙන් පසුව ගින්න හටගත් බව පරීක්ෂණයකින් හෙළි වූ බව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලධාරීහු පවසති.

අග්‍රාමාත්‍ය මුස්තාපා අල්-කද්මි හදිසි රැස්වීමක් කැඳවා, ධී කාර් පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂක, රෝහල් අධ්‍යක්ෂක සහ නගරයේ සිවිල් ආරක්ෂක ප්‍රධානියා අත්හිටුවීමට හා අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. රජයද කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළේය.

අල්-කද්මි මෙම ඛේදවාචකය හැඳින්වූයේ සියලු ඉරාක ජාතිකයන්ගේ සිත්වල ගැඹුරු තුවාලයක් ඇති කරන සිදුවීමක් ලෙසිනි. ඔහුගේ කාර්යාලයෙන් ජාතික ශෝක දිනයක්ද ඉල්ලා සිටියේය.

අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති බර්හැම් සාලිහ් රෝහල් ව්‍යසනය ගැන චෝදනා කළේ ඉරාක ජාතිකයින්ගේ ජීවිත අවතක්සේරු කරන දූෂණය හා වැරදි කළමනාකරණය සම්බන්ධයෙනි.

ගින්න සම්බන්ධයෙන් ප්‍රාදේශීය නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බව නසිරියා අධිකරණය පවසයි.



Recommended Articles