ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ දිවුරුම්දීම අදයි


හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීම අද (18දා) සිදුවීමට නියමිතව තිබේ.

පසුගිය ජූලි මාසයේ පැවති මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය ගත් පී.ටී.අයි. පක්ෂය ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට සමත් වූයේ, කුඩා පක්ෂ කිහිපයකද සහාය ඇතිව ඉම්රාන් ඛාන් වෙත පාකිස්තානයේ සුක්ඛානම භාරදීමට අඩිතාලම සකසමිනි.

කෙසේ වෙතත්, දේශපාලනයට පිවිස දශක දෙකකට පසුව ඉම්රාන් ඛාන් අවසානයේදී සිය ඉලක්කය ජයගත් නායකයෙකු බවට පත්ව තිබේ.

65 වැනි වියෙහි පසුවන ඉම්රාන් ඛාන් පාකිස්තාන මැතිවරණ ජයග්‍රහණයත් සමග ඔහුට හිමිවන්නේ සෞභාග්‍යමත් රාජ්‍යයක් නොවන බවද පැහැදිලිය.

දැවැන්ත ආර්ථික අර්බුදයකින් බැටකන රාජ්‍යයක් උරුම කරගෙන නව අගමැති ධුරයේ වැඩභාරගැනීමට සිටින ඉම්රාන් ඛාන් නව පාකිස්තානයක් ගොඩනගන බවට දැනටමත් ප්‍රතිඥා දී තිබේ.

ක්‍රිකට් දිවියේ ආකර්ෂණීය තරුවක් බවට පත්ව සිටි ඉම්රාන් ඛාන්, වර්ෂ 1992 ලෝක කුසලානය පාකිස්තානයට දිනාදීම සඳහා සමත් කණ්ඩායමේ නායකයාද විය.



Recommended Articles