ඉන්දුනීසියාවේ බාලි දූපතේ වෛද්‍ය ඔක්සිජන් හිඟයක්


අග්නිදිග ආසියාවේ විශාලතම රට කලාපයේ දරුණුතම කොවිඩ්-19 රැල්ලක් සමග පොරබදමින් සිටින විට, ඉන්දුනීසියාවේ බාලි දූපතේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් නොමැති බවට එහි සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවයි.

සංචාරක වෙරළ කලාපයක් ලෙස සුප්‍රසිද්ධ බාලි, ප්‍රධාන ජාවා දූපත සහ තවත් කලාප 15ක වසංගතය සඳහා පැනවූ සීමා හෙට (25දා) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණත්, ඒවා දීර්ඝ කළ යුතුද නැද්ද යන උභතෝකෝටික ගැටලුවකට ඉන්දුනීසියානු බලධාරීන් පත්ව ඇති බව කියයි.

"අපට ජුලි 14 සිට ඔක්සිජන් හිඟයක් ඇති වී ඇති වී තිබෙනවා. නව ආසාදිත අවස්ථා වැඩිවීම නිසා එය දවසින් දවස තීරණාත්මක වෙමින් පවතිනවා" යැයි බාලි සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානී කෙතුට් සුවරායා පැවසීය.

ලොව සිව්වැනි වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දුනීසියාවට කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 3කට වඩා මේ වනවිට වාර්තා වී ඇති අතර, නිල දත්තවලට අනුව මරණ 80,598කි. ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවන නව ආසාදන පැතිරීම මන්දගාමී වීමේ සලකුණක් පෙන්නුම් කර නැති බව එරට මාධ්‍ය පවසයි.



Recommended Articles