ඉන්දුනීසියාවේ පාලම් පාරුවක් පෙරළීමෙන් 34ක් ජීවිතක්ෂයට


ඉන්දුනීසියාවේ දකුණුදිග සුලවාසි පළාතේ පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෙලායර් දූපත ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, යත්‍රාවේ සිටි තවත් පුද්ගලයන් 155ක් පිහිනා යෑමෙන් හෝ ආරක්ෂිත බෝට්ටුවලට නැඟ ගැනීමෙන් ජීවිතය බේරාගෙන ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

මෙම පාලම් පාරුවේ ඇති වූ කඩතොලු වීමක් සමග ඒ තුළට ජලය ගලා ඒමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වෙයි.

අයහපත් කාලගුණය සමග මූලික මුදාගැනීමේ මෙහෙයුම් අවසන්ව ඇති අතර, යාත්‍රාවේ සිටි පිරිස් බේරාගැනීම සඳහා මෙම අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇත්තේ විශාල යාත්‍රා ඒ වෙත ළඟාවීම අසීරු කරමිනි.

ඒ නිසා කුඩා යාත්‍රා සහ ධීවර බෝට්ටු මෙම මුදාගැනීමේ මෙහෙයුම් වෙත වැඩි දායකත්වයක් ලබාදී ඇති බවද ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

ඉන්දුනීසියාව තුළ මෙවැනි සාගර අනතුරු දුලභ කාරණයක් නොවන අතර, මීට සති දෙකකට පෙර සුමාත්‍රා දූපත් ආශ්‍රිතව තවත් පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මිනිස් ජීවිත 190ක් ජලයේ සැඟව ගියේය.

කෙසේ වෙතත්, එම අනතුර ඉන්දුනීසියාවේ සාගර ආශ්‍රිත අනතුරුවලින් දශක ගණනාවකට පසුව සිදුවූ දරුණුතම අනතුරක් ලෙස සඳහන් කෙරිණි.



Recommended Articles