දකුණුදිග මැලේසියාවට ඔබ්බෙන් වූ කුණාටු සහිත කාලගුණය පැවති අවස්ථාවේදී බෝට්ටුවක් ගිලී යාමෙන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් 11 දෙනෙකු මිය ගොස්, තවත් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.
රැකියා බලාපොරොත්තුවෙන් ඉන්දුනීසියානුවන් සමහර විට නීත්‍යානුකූල නොවන ලෙස යාත්‍රාවලින් මුහුදු තරණය කරමින් අසල්වැසි මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කරන අතරතුර මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවේ.
සංක්‍රමණිකයන් 60 දෙනෙකු රැගත් යාත්‍රාවක් මැලේසියාවේ දකුණුදිග ජොහෝර් ප්‍රාන්තයට ඔබ්බෙන් උදෑසන අනතුරට පත්ව ඇති බව වෙරළාරක්ෂක අංශ පවසයි.
මුර සංචාරයේ යෙදී සිටි සෙබළුන් පිරිමි හත් දෙනෙකුගේ සහ කාන්තාවන් සිව් දෙනෙකුගේ සිරුරු වෙරළේ තිබී සොයා ගත් බව වෙරළාරක්ෂක ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් සුබිල් මැට් සෝම් පැවසීය.
තවත් පිරිමින් 20දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අසල ඉන්දුනීසියානු දූපතක සිටියදී පණපිටින් සොයා ගත් අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පැවසීය.
අතුරුදන් වූවන් සැඟවී පලා ගොස් හෝ දියේ ගිලී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඔවුන් සෙවීම සඳහා බලධාරීන් බෝට්ටු සහ ගුවන් යානයක් යොදවා ඇති බව වෙරළාරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.