ඉන්දුනීසියාවේ ජකාර්තා නගරය ඉලක්ක කරමින් 2016 වසරේදී එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරු ලෙස අධිකරණය ඉදිරියේ වරදකරු වූ එරට ඉස්ලාමීය පූජකවරයෙකුට මරණීය දණ්ඩනය නියම වී තිබේ.
අමාන් අබුරාහ්මන් නමැති මෙම ඉස්ලාමීය පූජකවරයා ස්ටර්බක් වෙළෙඳ සැලක් අසල එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බවට තහවුරු වී ඇත.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇතැයි මෙම ඉස්ලාමීය පූජකවරයා, ඉන්දුනිසියාව තුළ ක්‍රියාත්මක වන අන්තවාදී ජිහාඩ් සංවිධානයක ආධ්‍යාත්මික නායකයා බවද කියයි.
2016 වසරේදී එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා සම්බන්ධ වෙමින් ඉන්දුනීසියාව තුළ එල්ල කෙරුණු ප්‍රථම ප්‍රහාරයයි.
2010 වසරේ සිට සිරභාරයේ සිටින මෙම සැකකරු තම සිරමැදිරිය තුළ සිටම මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අධිකරණය හමුවේ ඔප්පු වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාව යටතේ ඔහු වරදකරු බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවෙන් පසුව තමන් නිදොස් බව මෙම ඉස්ලාමීය පූජකවරයා අධිකරණය හමුවේ පවසා ඇත.
සිරියාවට ගොස් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග සටන් කරන ලෙස තමන්ගේ අනුගාමිකයන්ට අනුබල දුන්නත්, ඔවුන්ට කිසිවිටෙකත් ඉන්දුනීසියාව තුළ ප්‍රහාරයක් දියත් කිරීමට තමන් අනුබල නොදුන් බවද ඔහු අධිකරණය හමුවේ පවසා ඇත.