ඉන්දීය විශාලතම කෝපි අවන්හල් ජාලයේ හිමිකරුගේ සිරුර හමුවෙයි


ඉන්දියාවේ විශාලතම කෝපි අවන්හල් ජාලයේ ප්‍රාරම්භක සහ හිමිකරු වන වී.ජී. සිද්ධාර්ථගේ මළ සිරුර මැන්ගලෝර් ආසන්න ගංගාවක් අසල තිබී සොයාගෙන තිබේ.

සිය රියදුරු සමග ගමන් කරමින් සිටියදී පසුගිය සඳුදා ඔහු හිටි හැටියේ අතුරුදන් වූ අතර, ඊයේ (30දා) දිනයේ ගංගාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබුණි.

කොෆී ඩේ එන්ටර්ප්‍රයිස් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සිද්ධාර්ථගේ හදිසි අභාවයෙන් පසුව සමාගම ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කරන බවට කොටස් හිමියන් වෙත සෙසු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

59 හැවිරිදි ප්‍රකට ව්‍යවසායකයා කෝපි වැවිලිකරුවෙකුගේ පවුලට දාව උපත ලබා තිබුණු අතර, පසුව ඉන්දියාව තුළ දැවැන්ත කෝපි අවන්හල් ජාලයක හිමිකරුවෙකු බවට පත්වීමට ඔහු සමත්විය.

ඔහුගේ රියදුරු පවසා තිබුණේ මෝටර් රථයෙන් බැසගත් තම ස්වාමියා තමාට තනිවම ඇවිදීමට අවශ්‍ය යැයි පවසා පිටත්ව ගිය බවත්, මෝටර් රථය තරමක් දුරින් ගාල් කරන ලෙස ඔහු උපදෙස් ලබාදුන් බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, පැය එකහමාරකට වඩා වැඩි කාලයක් ගතවී තිබුණත් ඔහු යළි නොපැමිණි නිසා සිය ස්වාමියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදුන්නත් එය ක්‍රියාවිරහිතව පැවති බව රියදුරු පොලීසියට පවසා ඇත.



Recommended Articles