ඉන්දීය මඟගත් කමලා හැරිස් ජෝ බයිඩන්ගේ උප ජනපති භූමිකාව ශක්තිමත් කරාවිලු


ඉන්දියාවේ චෙන්නායි නුවරින් එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ෂ්‍යාමාලා ගෝපාලන්ට සහ ජැමෙයිකාවෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පියාට දාව උපත ලැබූ කමලා දේවි හැරිස් ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ජනපති අපේක්ෂක ජෝ බයිඩන් සිය උප ජනාධිපති අපේක්ෂිකාව බවට පත්කර ගෙන තිබේ.

ඔවුන් දෙපළ ඊයේ (12දා) පැවති ප්‍රථම පුද්ගල ප්‍රචාරක අවස්ථාවට එක්ව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව එක්ව පහරදීමක් සිදුකර තිබේ.

එහිදී එක්සත් ජනපදයෙන් උප ජනාධිපති ධුරයකට මෙන්ම, රටේ ඉහළම තනතුරකට නම් කෙරෙන පළමු වැනි කළු ජාතික කාන්තාව වීම පමණක් නොව, ට්‍රම්ප් පරාජය කිරීමටත්, ඉන්පසුව වසංගතය, පීඩාවට පත් ආර්ථිකය මෙන්ම දීර්ඝ කාලීන වර්ගභේදවාදය යන ප්‍රධාන අරමුණු තුනට ආමන්ත්‍රණය කළ හැකි කාන්තාවක ලෙසත් 77 හැවිරිදි බයිඩන් කමලා හැරිස් නම් කළේය.

55 වැනි වියේ පසුවන කමලා හැරිස් කැලිෆෝනියාවේ නීතිපති ජනරාල්වරයා ලෙස මෙන්ම, 2017 වසරේ සිට එහි සෙනෙට් සභිකයෙකු ලෙසද කටයුතු කරමින් බොහෝ දේශපාලන අත්දැකීම් ඇති බව කියයි.

"බුද්ධිමත්, දැඩි, අත්දැකීම් ඇති ඇය මේ රටේ කොඳු නාරටිය සඳහා ඔප්පු කළ සටන්කරුවෙක්" බව බයිඩන් මෙහිදී කියා සිටියේය.

විශේෂයෙන්ම ඊයේ (12දා) පැවති ප්‍රථම පුද්ගල ප්‍රචාරක අවස්ථාවට පැමිණෙන අවස්ථාවේදී බයිඩන් මෙන්ම කමලාද මුඛ ආවරණ පැලඳ, තමන් වගකිව යුතු නායක දෙපළක් ලෙස හැසිරෙන බවට ඇමෙරිකාව ඉදිරියේ ප්‍රකට කිරීමද ට්‍රම්ප්ගේ මුඛ ආවරණ විරෝධය වෙත එල්ල කළ ප්‍රබල පහරක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කාන්තා ඔබාමා ලෙසින්ද ඇතමුන් විසින් හඳුන්වන කමලා හැරිස්, පසුගිය මැයි මාසයේදී එක්සත් ජනපදයේ සිදු වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයේදී රට තුළ පොලිස් සේවය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බව පැවසූ චරිත අතර මුල් වූවාය.

තම මවගේ ඉන්දීය සම්භවය නිසා ඇමෙරිකානු එක්සත් ජනපද දේශපාලනයේ නිරත වුවත් තවමත් සිය ඉන්දීය සම්භවය පිළිබඳව ඉතා ඉහළින් කතා බස් කරන, එහි ඇති භාවිතයන් ක්‍රියාවේ යොදවන චරිතයක් ලෙසටද කමලා හැරිස් ප්‍රකටව සිටීමෙන්, මෙය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව දැඩිම බලපෑමකට ලක්ව ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 165,934 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,195,195කි.



Recommended Articles