ඉන්දීය ගොඩනැගිලි අනතුරෙන් මියගිය පිරිස 10ක් - 8ක් රෝහලේ


ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරටට ඇද හැලුණු ධාරාණිපාත මෝසම් වැසි තත්ත්වය ඩ්‍රොන්ග්‍රී පළාතේ සිදුවූ මෙම අනතුරට හේතුව බව සඳහන් වුවත්, මූලිකවම මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව තහවුරු කරගෙන නොතිබුණි.

කෙසේ වෙතත්, මෙම අනතුරත් සමග පුද්ගලයන් රැසක් ගොඩනැගිල්ලේ කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටි බවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි ආපදා තත්ත්ව හේතුවෙන් ඉන්දියාව තුළ සෑම වසරකම පුද්ගලයන් 2,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන අතර, ගොඩනැගිලි ඉදිකිරීමේදී සිදුවන නොසැලිකිලිමත්බව හා බාල තත්ත්වයේ ඉදිකිරීම් මීට හේතුව බව සඳහන් වෙයි.

පොලීසිය පවසන ආකාරයට මෙම ගොඩනැගිල්ල තුළ පවුල් 15ක් පමණ ජීවත් වී ඇති අතර, මියගිය පිරිස 10ක් බව තහවුරු කර තිබේ. එමෙන්ම, තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.  



Recommended Articles