ඉන්දියාවේ සිලිකන් වැලී හා තවත් නගර රැසක් ඉදිරියේදී යළි ලොක්ඩවුන් තත්ත්වයට


ඉන්දියාවේ බැංගලෝරයේ කොවිඩ්-19 ආසාදිතයන් විශාල පිරිසක් හමුවීමත් සමග ​​නගරය අඟහරුවාදා සිට සතියක කාලයක් වසා තබන බව බලධාරීහු පවසති.

"බැංගලෝරයේ කොවිඩ් -19 ආසාදිතයන් හදිසියේම ඉහළ යාම සහ විශේෂඥයන්ගේ උපදෙස් මත අඟහරුවාදා රාත්‍රී 8.00 සිට ඇරඹෙන බැංගලෝරයේ ​​නාගරික හා ග්‍රාමීය දිස්ත්‍රික්කවල සතියක කාලයක් සඳහා සම්පූර්ණ අගුලු දැමීමක් පැනවීමට තීරණය කර තිබෙනවා" කර්නාටක මහ ඇමති බී.එස්. යේඩියුරප්පා නිවේදනය කළේය.

සවිස්තරාත්මක මාර්ගෝපදේශ සඳුදා නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. බැංගලෝරය කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන අතර මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය බවට පත්විය. එය දියුණු තාක්‍ෂණ කර්මාන්ත ශාලාවල නිවහන වන අතර බොහෝ විට එය ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ප්‍රාග්ධන උල්පත හෝ රටේ සිලිකන් වැලී ලෙසද හැඳින්වේ.

බැංගලෝර් ​​නාගරික ප්‍රදේශවල කොවිඩ්-19 ආසාදිතයන් 16,862ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල ආසාදිතයන් 245ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති. සෙනසුරාදා සවස වනවිට නාගරික ප්‍රදේශවල පුද්ගලයින් 229 දෙනෙකු වෛරසය වැළඳී මියගොස් ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල 7 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම මුම්බායි නගරය අයත් වන මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේද ප්‍රධාන හා අර්ධ නාගරික නගර කිහිපයක ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නැවත සම්පූර්ණ අගුලු දැමීමක් ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇති බවද ඉන්දියාවෙන් වාර්තා වෙයි. එසේම ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාති හි දැනට පවතින අගුලු දැමීම තවත් දින 14ක් දක්වා දීර්ඝ කර ඇති අතර, මෙඝාලයා ප්‍රාන්තයේ අගනුවරද සම්පූර්ණ අගුලු දැමීමකට ලක්වීමට නියමිතය.



Recommended Articles