ඉන්දියාවේ මරණ ලක්ෂ 4ක් - සැබෑ අගය මීටත් වැඩියිලු


කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිදුව ඇති නිල මරණ සංඛ්‍යාව 400,000ක් දක්වා අද (02දා) ඉහළ ගොස් ඇති අතර, විශේෂඥයන් පවසන්නේ සත්‍ය වශයෙන්ම මියගිය සංඛ්‍යාව මිලියනයක් හෝ ඊටත් වඩා වැඩි විය හැකි බවය.

දින 39ක් තුළ ඉන්දියාව මරණ 100,000ක් එක්කළ බව දත්ත වාර්තා පෙන්වා දෙයි. දෙවැනි ආසාදිත රැල්ල නගර පුරා පැතිරී තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ විශාල ගම්බද ප්‍රදේශවලට එක් එන්නතක් හෝ නොමැතිව මිලියන ගණනක් අවදානමට ලක්ව ඇති බව කියයි.

ගෙවුණු දිනයේ රට තුළ මරණ 853ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි. ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව හිමි රටයි.

කෙසේ වෙතත් පසුගිය මැයි මාසයේදී දෛනික ආසාදන 400,000ක උපරිමයකට පැමිණීමෙන් පසුව, නව ආසාදන සංඛ්‍යාව මාස දෙකක අවම මට්ටමකට මේ වනවිට අඩු වී තිබේ.

රට සෙමෙන් යළිත් විවෘත වන අතර දේශීයව ඩෙල්ටා ප්ලස් නමින් නව ප්‍රභේදයක් මතුවෙමින් තිබියදී තුන්වැනි රැල්ලක් ගැන වසංගත රෝග විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඉන්දීය රජය විශාල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අවධානය යොමුකර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය රටේ වැඩිහිටියන්ට නොමිලේ එන්නත් කිරීම සඳහා පසුගිය සතියේදී රටපුරා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, වසර අවසාන වනවිට මිලියන 950ක ජනතාවක් වෙත එන්නත ලබාදීම අපේක්ෂා කරයි.

පසුගිය වසරේ වසංගතය පැතිරීමෙන් පසු ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 30.45ක් මේ වනවිට වාර්තා වී ඇති අතර, එය දෙවැනි වන්නේ ආසාදිතයන් මිලියන 33ක් වාර්තා වී ඇති එක්සත් ජනපදයට පමණි. එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 604,000ක් ඉක්මවා ඇති අතර, 518,000ක් පමණ බ්‍රසීලයේ මිය ගොස් ඇත.



Recommended Articles