ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවන විට ඉන් හතරෙන් එකක් දින 17කදී


දකුණු ආසියාව තුළ COVID-19 වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ ආසාදිත මරණ සංඛ්‍යාව  ඊයේ (17දා) 50,921ක් ලෙස 50,000ක සීමාව ඉක්මවන විට, එම මරණවලින් හතරෙන් එකක්ම පසුගිය දින 17 තුළදී සිදුව ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත රට පසුගිය සතියේ බ්‍රිතාන්‍යය අභිභවා යමින් ලොව සිව්වැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස එක්සත් ජනපදය, බ්‍රසීලය සහ මෙක්සිකෝවට පසුපසින් සිටියි.

කෙසේ වෙතත් බොහෝ විශේෂඥයන් පවසන්නේ අඩු මට්ටමේ පරීක්ෂණ හේතුවෙන් සැබෑ සංඛ්‍යා බෙහෙවින් වැඩිවිය හැකි බවය. එසේම ඉන්දියාවේ කාලානුරූපීව අරමුදල් රහිත සෞඛ්‍ය පද්ධතිය තුළ බොහෝවිට මරණ නිසි ලෙස වාර්තා නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මෙසේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවේ වෛරස මරණ අනුපාතය 2%කට වඩා අඩු, ගෝලීය මට්ටමේ අවම අගයක් පවතින බව සඳහන් කළේය.

නමුත් විශේෂඥ මතය වී ඇත්තේ, ඉන්දියාව තුළ සෞඛ්‍ය පද්ධතිය දුර්වල හෝ පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශවලට වෛරසය ව්‍යාප්ත වන හෙයින් තවදුරටත් වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව පරීක්ෂණ වේගවත් කිරීමට පියවර ගතයුතු බවය.



Recommended Articles