ඉන්දියාවේ එකම පවුලේ 10ක්ම මිත්‍යා විශ්වාස නිසා එල්ලී මැරිලා?


ඉන්දියාවේ නව දිල්ලි නුවර එකළොස් දෙනෙකුගෙන් යුතු පවුලක්ම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන් දස දෙනෙකුගේ සිරුරු නිවසේ සිවිලිමේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවත් විදෙස් වාර්තා පවසයි.

වයස අවුරුදු 70ක පමණ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර පමණක් බිම වැටී තිබියදී සොයාගෙන ඇති අතර, මියගොස් සිටි සියලු දෙනාගේ ඇස් වසා ඔවුන්ගේ දෑත් පසුපසට බැඳ තිබූ බවද පොලීසිය කියයි.

මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණත්, මෙය කිසිවෙකු විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් නොවිය හැකි බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, මෙම පවුලේ පිරිස අදෘශ්‍යමාන බලවේග සමග කටයුතු කරමින් එවැනි මිත්‍යාවන් අදහමින් කටයුතු කළ පවුලක් බවට පොලීසියට සාක්ෂි හමුවී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන්, අසල්වාසීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් මෙන්ම, සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි බව පොලීසිය කියයි.

දැනට වසර 20ක පමණ කාලයක සිට මෙම පවුලේ උදවිය නව දිල්ලියේ බුරායි දිස්ත්‍රික්කයේ ජීවත් වන අතර, ඔවුන් රාජස්ථාන්වල සිට දිල්ලියට සංක්‍රමණය වූ පවුලක් බවද සඳහන් වෙයි.

මහල් තුනකින් යුතු මෙම නිවසේ පහළ මහළෙහි එම පවුලේ උදවිය විසින්ම කුඩා කඩ දෙකක්ද පවත්වාගෙන ගොස් තිබේ.

ඊයේ (01දා) උදෑසන මෙම කඩයකින් කිරි මිලදී ගැනීමට පැමිණි අයෙකු මෙම සිදුවීම දැක වහාව පොලීසිය දැනුවත් කර තිබේ.

මියගිය අය අතර, සහෝදරයන් දෙදෙනෙකු, ඔවුන්ගේ බිරින්ඳෑවරු, දරුවන් මෙන්ම වයෝවෘද කාන්තාවකද වෙති.



Recommended Articles