ඉන්දියාව දශක ගණනාවකට පසුව හිමාලය සියැසින් දකියි


උතුරු ඉන්දියාවේ පන්ජාබයේ වෙසෙන ජනතාවට දශක ගණනාවකට පසුව හිමාල කඳු වැටිය සැතපුම් 100කට වඩා දුරක සිට පියවි ඇසින් දැකගැනීමේ භාග්‍යය උදාවී තිබේ.

ජලාන්දර් නගරයේ සහ ඒ අවට සිටින ඉන්දියානුවන් තම නිවෙස්වල සිට ලබාගත් අදහස් අන්තර්ජාලයේ පළ කර ඇති අතර සමහරු පවසන්නේ දශක ගණනාවක් තිස්සේ හිමාල කඳුවැටියේ කඳු මුදුන් මේ ආකාරයෙන් දර්ශනය නොවූ බවයි.

"වසර 30කට ආසන්න කාලයක් තුළ පළමු වතාවට හිමාලය පැහැදිලිව දැකගත හැකි වූයේ ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග වායු දූෂණය ඉවත් වීම නිසායි. එය පුදුම සහගතයි" ඉන්දියානුවෙකු සටහනක් තබා තිබුණි.

ඉන්දියාව වසා දැමීමත් සමග එරට කර්මාන්ත ශාලා ක්‍රියාත්මක නොවීම, ඉන්දීය මංමාවත් පිරී ඉතිරී යන මෝටර් වාහන නිවෙස්වල ගාල්කර තිබීම, ගුවන් යානා ගොඩබැස්වීම ආදි මෙකී නොකී සියලු කාරණා හේතුවෙන් දැන් ඉන්දියාවේ වායුගෝලයේ ගුණාත්මක බව දිනෙන් දින ඉහළ යන බව සඳහන් වෙයි.

ඉන්දියාවේ මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය දක්වන දත්තවලට අනුව, දිල්ලියේ PM10 වායු දූෂණ මට්ටම 44% කින් අඩුවී තිබේ. PM10 ප්‍රමිතිය මගින් මයික්‍රොමීටර 10ක් හෝ ඊට වඩා කුඩා විෂ්කම්භයකින් යුත් වායු අංශු මැනිය හැකිය.

2019 ලෝක වායු තත්ත්ව වාර්තාවේ දත්ත වලට අනුව ලෝකයේ වායු දූෂිත නාගරික ප්‍රදේශ 30න් 21ක්ම ඉන්දියාවෙන් වාර්තා විය.



Recommended Articles