ඉදිරි දශක දෙක තුළ දහන එන්ජිම භාවිතයෙන් ඉවතට?


පුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.

බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන් දැනටමත් විදුලිය සඳහා විශාල ආයෝජනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර, දැඩි විමෝචන ඉලක්ක වෙත සහාය දැක්වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

කෙසේ වෙතත් පොදු විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම මගින් යුරෝපා සංගමය ඔවුන්ට සහාය ලබාදෙන්නේද යන්න දැනගැනීමට නිෂ්පාදකයන්ට අවශ්‍ය අතර, ඒ ඔස්සේ දෙමුහුන් සහ දහන වාහන ක්‍රමානුකූලව ඉවත් කිරීම සිදුවන ආකාරය සම්බන්ධයෙන්ද ඔවුන් උනන්දුවෙන් පසුවෙයි.

"2040 වනවිට බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ ආකෘති කෙසේ හෝ විද්‍යුත්කරණය වනු ඇති" ඇලික්ස්පාර්ට්නර්ස් හි උපදේශක කළමනාකාර අධ්‍යක්ෂ නික් පාකර් පැවසීය. "ප්‍රශ්නය වන්නේ ඔවුන් (යුරෝපා සංගමය) ගමනට බලහත්කාරයෙන් යාමට උත්සාහ කරනු ඇතිද හෝ එම මාර්ගය තමන් විසින්ම තීරණය කිරීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයන්ට භාරදිය හැකිද යන්නයි."

වොක්ස්වැගන් සමාගම පසුගිය මාසයේදී ප්‍රකාශයට පත්කළේ 2035 වනවිට යුරෝපයේ දහන එන්ජින් සහිත මෝටර් රථ විකිණීම නවත්වන අතර, ඉන් පසුව චීනයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළද විදුලි වාහන වෙත මාරුවන බවයි.

පසුගිය සතියේ ලොව සිව්වැනි මෝටර් රථ නිෂ්පාදකයා වන ස්ටෙලාන්ටිස් කියා සිටියේ 2025 වනවිට යුරෝ බිලියන 30කට වැඩි ප්‍රමාණයක් (ඩොලර් බිලියන 35ක්) විදුලි මෝටර් රථ වෙනුවෙන් ආයෝජනය කරන බවයි.

එසේ විදුලි මෝටර් රථවල දියුණුවක් තිබියදීත් මෑත වසරවලදී මාර්ග ප්‍රවාහනයෙන් යුරෝපා සංගම් විමෝචනය සැබවින්ම ඉහළ ගොස් ඇති අතර, නව ක්‍රියාමාර්ග මගින් 2050 වනවිට ශුද්ධ ශුන්‍ය විමෝචනයක් කරා ළඟාවීමේ සමස්ත උපාය මාර්ගයට අනුකූලව මෙම නව යෝජනා වෙත යෑමට අපේක්ෂා කරයි.

යුරෝපා කොමිසමේ, යුරෝපා සංගම් විධායකය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනා මගින් 2035 හෝ 2040 සිට රටවල් 27ක පොසිල ඉන්ධනවලින් ධාවනය වන වාහන විකිණීම තහනම් කිරීමේ සාකච්ඡාවක් සිදුවනු ඇති අතර, එහිදී  කොමිෂන් සභාවේ සියලුම යෝජනා යුරෝපා සංගම් සාමාජික රටවල් සහ යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සාකච්ඡා කර අනුමත කළ යුතුව තිබේ.



Recommended Articles