ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න - ෂී ජින්පිං


ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සහ සාමූහික ආරක්‍ෂක ගිවිසුම් සංවිධානය (CSTO) එක්ව ඇෆ්ගනිස්ථානයේ ගැටලුව සඳහා ස්ථාවර කාර්යභාරයක් ඉටුකළ යුතු බවත්, කලාපයේ සාමය ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

ඇෆ්ගනිස්ථානයේ සිටින ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව සටන් කර ඒවා මුලිනුපුටා දැමිය යුතු බවට අදාළ පාර්ශ්වයන්ට බල කරන ලෙස ඔහු එම සංවිධාන දෙකෙන් ඉල්ලා සිටියේය.

බීජිං හිදී ෂී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඇෆ්ගනිස්ථාන ගැටළුව පිළිබඳව එම සංවිධාන දෙකෙහි සාමාජික රටවල නායකයන්ගේ ඒකාබද්ධ සමුළුවකට වීඩියෝ සබැඳියක් ඔස්සේ සහභාගී වෙමිනි.

SCO සහ CSTO හි සාමාජික රටවල් ඇෆ්ගනිස්ථානයේ සමීපතම අසල්වැසියන් වන අතර මේ සියලු රටවල් හවුල් අනාගතයක් මෙන්ම ආරක්‍ෂක ප්‍රජාවක් ද වන බව ඔහු සඳහන් කළේය.

ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමේ පදනම මත ඇෆ්ගන් නායකත්වය දරන සහ ඇෆ්ගනිස්ථානයට අයත් සාම ක්‍රියාවලියට SCO සහ CSTO සහාය විය යුතු බව ෂී පැවසීය. ඇෆ්ගනිස්ථානයේ අනාගතය රටේ සියලු ජනවාර්ගික කණ්ඩායම් අත විය යුතු බව ඔහු අවධාරණය කළේය.

හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර සංක්‍රාන්තියක් ප්‍රවර්ධනය කිරීමටත්, සාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථානය සම්බන්ධ කර ගැනීමටත්, ඇෆ්ගන් ජනතාවට ඇති වන දුෂ්කරතා මඟහරවා ගැනීමට උදව් කිරීමටත් චීන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

SCO සහ CSTO ඇෆ්ගනිස්ථානයේ විවිධ පාර්ශවයන්ට ඉක්මන් දිනයක සංවාදය හා සාකච්ඡා තුළින් ඇතුළත් දේශපාලන විධිවිධානයක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට සහයෝගය ලබාදිය යුතු බවද ඔහු පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ නව බල ව්‍යුහය විවෘතව හා සම්බන්ධ කර ගැනීමටත්, විචක්ෂණශීලී හා මධ්‍යස්ථ දේශීය හා විදේශ ප්‍රතිපත්ති අනුගමනය කිරීමටත් ලොව පුරා රටවල් සමග විශේෂයෙන් අසල්වැසියන් සමග සුහදව ජීවත් වීමටත් ඔවුන් දිරිමත් කරන ලෙසත් චීන නායකයා SCO සහ CSTO වෙතින් ඉල්ලා සිටියේය.

මේ අතර, ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර සැපයීමට සහ කොවිඩ්-19 ට එරෙහි සටනට සහාය වීමට උත්සාහ කළ යුතු බවද ෂී පැවසීය. ඇෆ්ගනිස්ථානයට හැකි ඉක්මනින් හදිසි සැපයුම් කණ්ඩායමක් ලබාදෙන බව චීනය නිවේදනය කර ඇති අතර, තම හැකියාවන් තුළ රට තවත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව ඔහු සඳහන් කළේය.

ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක් (ඩොලර් මිලියන 30.96 ක්) වටිනා ධාන්‍ය, ශීත සෘතු සැපයුම්, එන්නත් සහ වෙනත් ඖෂධ ලබාදීමට තීරණය කළ බව චීනය මේ මස මුලදී නිවේදනය කළේය. ඒ සඳහා මුලින් කෝවිඩ්-19 එන්නත් මිලියන 3ක්ද ඇතුළත් ය.

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ "සමහර රටවල්" රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාදිපති ෂී ජින්පිං වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



Recommended Articles