ඇෆ්ගනිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක් තලේබාන් අල්ලයි


තලේබාන් සංවිධානය ඉරානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, චීනය සහ පාකිස්තානය යන රටවල් පහට මායිම්ව පිහිටි ප්‍රදේශ රැසක බලය පසුගිය සතියේදී අත්පත් කරගෙන තිබේ.

උස්බෙකිස්තානයට මායිම්ව පිහිටි උතුරු බෝල්ක් පළාතේද තලේබාන් සටන්කරුවන් සහ ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා අතර ගැටුම් ඇති විය.

හේරත් පළාතේ පිහිටා ඇති ඉරානය සමග ඇති දේශ සීමාවද තලේබාන් සංවිධානය අත්පත් කරගෙන ඇති බවත්, මේ සමග ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හා රේගු නිලධාරීන් දේශ සීමාව හරහා පලා ගොස් ඇති බවත් තහවුරු නොකළ මූලාශ්‍ර පෙන්වා දෙයි.

ඉරානයේ නිල අරාබි භාෂා සේවය වන අල් අලලාම් ටීවී ද වාර්තා කළේ තලේබාන් සංවිධානයෙන් බේරීම සඳහා ඇෆ්ගන් සොල්දාදුවන් දේශසීමා හරහා ඉරාන භූමියට ඇතුළු වී ඇති බවයි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තාරික් ඒරියන් එම වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, දේශ සීමාව තරණය කිරීම තවමත් රජයේ හමුදා පාලනය යටතේ පවතින බව පැවසීය.

එනමුදු මේ සතිය මුලදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක භටයින් දහසකට වැඩි පිරිසක් ටජිකිස්තානයට පලා ගොස් ඇති අතර, චීනය සහ පාකිස්තානය ද මායිම්ව ඇති උතුරු පළාතේ බඩක්ශාන් තලේබාන් සංවිධානය විසින් අල්ලා ගෙන තිබේ.

මේ අතර බටහිර පළාතේ බැඩ්ගිස් අගනුවර වන ක්ලා-ඊ-නව් හි පාලනය ඇෆ්ගනිස්ථාන හමුදා විසින් බ්‍රහස්පතින්දා යළි අත්පත් කර ගත් බව ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ තීරණය ආරක්ෂා කරමින් ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා කියා සිටියේ තලේබාන් සංවිධානය මුළු රටම අත්පත් කර ගනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවත්, තමා ඇෆ්ගනිස්ථාන හමුදා විශ්වාස කරන බවත්ය.



Recommended Articles