ඇෆ්ගන් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථාන වෙත ඇමෙරිකානු ප්‍රහාරයක්


ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර කිහිපයකට එක්සත් ජනපදය විසින් එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව බටහිර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් මත්ද්‍රව්‍ය විද්‍යාගාරවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් ළමයින් ඇතුළු අවම වශයෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගියහ.

මැයි මාසයේදී එල්ල කරන ලද ප්‍රහාරවලින් තවත් මරණ 30ක් පමණ සිදුවන්නට ඇති බවට තමාට විශ්වාසදායක වාර්තා පැවතියත්, ඒවා තවමත් තහවුරු කර නොමැති බවද එම සංවිධානය පවසයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය කියා සිටියේ සටන්කාමී කණ්ඩායමට අරමුදල් සැපයීමට උදව් වන තලේබාන් විසින් මෙහෙයවන මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් තම ඉලක්කය වූ බවයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර හෝ ආශ්‍රිත සේවකයින් නීත්‍යානුකූලව ඉලක්ක ලෙස නම් කළ නොහැකිය.

මැයි 5 වැනි දින ප්‍රහාරවලදී එක්සත් ජනපද හමුදා ෆාරා පළාතේ සහ අසල්වැසි නිම්රොස් පළාතේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථාන 60කට වැඩි ගණනකට පහර දී තිබුණි.

ප්‍රහාරය සිදු වූ ස්ථානයට ගොස් නිවැසියන් සමඟ මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දූත පිරිස නිගමනය කළේ ළමයින් 14 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 39 දෙනෙකු මීට ගොදුරුව ඇති බවත්, ඉන් 30 දෙනෙකු මියගොස් ඇති බවත්ය.

කෙසේ වෙතත්, අවම වශයෙන් තවත් මරණ 30ක් පිළිබඳ විශ්වාසදායක සාක්ෂි සොයාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් සහ ළමයින් වීමද කැපී පෙනෙයි.



Recommended Articles