ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි 1,000 ඉක්මවා ඇති අතර, මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
"වසර ගණනාවක ගැටුම්, ආර්ථික දුෂ්කරතා සහ කුසගින්නෙන් දැනටමත් පීඩා විඳිමින් සිටින ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙත මගේ හදවත විවෘත වෙනවා. විපතට පත් වූවන්ගේ පවුල්වලට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා" ඔහු පැවසීය.
බදාදා අලුයම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගණන් බලා තිබේ.
ගුටරෙස් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත්, අවශ්‍යතා තක්සේරු කිරීමට සහ මූලික සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් කිහිපයක් දැනටමත් භූමියේ සිටින බවත්ය.
"මේ නවතම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ පවුල් වෙත සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපි උපකාර බලාපොරොත්තු වෙනවා. දැන් සහයෝගීතාවයේ කාලයයි," ගුටරෙස් පැවසීය.