ඇල්බේනියාවේ ඇති වූ රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් හේතුවෙන් ගොඩනැගිල් රැසක් කඩා වැටී, පුද්ගලයන් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම භූ කම්පනය නිසා පුද්ගලයන් 6 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය එක් අයෙකු බියට පත්ව ජනේලයකින් පැනීමෙන් මරුමුවට පත්වූවෙකි.
එමෙන්ම, තවත් පුද්ගලයන් 150 දෙනෙකුවත් මෙම භූ කම්පනය සමග සිදුවූ ගොඩනැගිලි කඩා වැටීම් නිසා තුවාල ලබා ඇති බව කියයි.
ඇල්බේනියාවේ අගනගරය වන ටිරානා නුවරට කිලෝමීටර් 34ක් වයඹදිගින් අද උදෑසන කාලයේදී භූ කම්පනය හටගෙන ඇත.
එමෙන්ම, භූ කම්පනයේ ප්‍රබලත්වය කලාපයේ සෙසු රටවලටද දැනී ඇති අතර, කිලෝමීටර් 700ක් එපිටින් වූ සර්බියානු නගරයක් වන නෝවි සෑඩ් මෙන්ම ඉතාලයේ නගර වෙතද එහි බලපෑම දැනී ඇත.
ඇල්බේනියානු අගමැති එඩී රාමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ හානියට පත් ප්‍රදේශවලට සහන සැලසීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරමින් සිටින බවයි.