ඇල්බේනියාවේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා සිදුකරන සෝදිසි මෙහෙයුම් දැඩි වෙහෙසක් දරා සිදුකරන අතරවාරයේ, පසු කම්පන කිහිපයක් ඇති වී තිබේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 650 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව වැඩිවිය හැකි බවද කියයි.
අඟහරුවාදා අලුයම මිනිසුන් නින්දේ සිටියදී අගනුවර වන ටිරානා සිට වයඹ දෙසට කි.මී. 34ක් (සැතපුම් 21) ඔබ්බෙන් අපිකේන්ද්‍රය සහිතව රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනය ඇති විය.
මෙම භූ කම්පනයේ මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ වෙරළබඩ නගරයක් වන ඩුරෙස් සහ අපිකේන්ද්‍රයට ආසන්නව පිහිටි තුමානේ නගරයේ ය.
භූ කම්පනයෙන් පසුව ඇතිවිය හැකි පසු කම්පන නිසා දහස් ගණනක් ජනයා රාත්‍රිය කූඩාරම්වල හෝ ඇතමුන් මෝටර් රථවල ගතකර තිබුණි.
මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගැනීමට සමත්ව ඇති අතර, අවසානය දක්වාම ඉවසිලිවන්තව දැඩි සෝදිසි කිරීම් සිදුකරන බව අගමැති එඩි රාම පවසා සිටියේය.
මේ අතර, ඇල්බේනියානු රජය බදාදා දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.