ඇල්බේනියා භූ කම්පනයෙන් පසු මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්


ඇල්බේනියාව ආශ්‍රිතව ඊයේ (26දා) සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් තවත් 600 ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ රාත්‍රිය පුරා සිදුකළ මෙහෙයුම්වලින් සුන්බුන් අතර සිරවී සිටි බොහෝ තුවාලකරුවන් පිරිසක් හමුවී ඇත.

රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනය අගනුවර වන ටිරානා සිට වයඹ දෙසින් කි.මී. 34ක් (සැතපුම් 21 ක්) ඇතිවී තිබුණේ බොහෝ දෙනෙකු පාන්දර නින්දේ සිටියදීය.

මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ වෙරළබඩ නගරයක් වන ඩුරෙස් සහ භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්නව පිහිටි තුමානේ නගරයේ ය.

ව්‍යසනයෙන් නිවාස අහිමි වූවන් සඳහා කූඩාරම් සකස් කර ඇති අතර, තවදුරටත් මුදාගැනීම් සිදුකිරීමේදී “අවසානය දක්වා ඉවසිලිවන්තව හා තරයේ සෝදිසි කර බලන” බවට අගමැති එඩි උපදෙස් ලබාදී ඇත.

මේ අතර අද (27දා) දිනය ඇල්බේනියානු රජය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම, සෝදිසි කටයුතුවලට සහාය වීම සඳහා ඉතාලිය, ග්‍රීසිය සහ රුමේනියාව යන රටවලින් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව යුරෝපීය කොමිසම පැවසූ අතර කොසෝවෝ සහ මොන්ටිනිග්‍රෝ වෙතින් කණ්ඩායම් ද යවා තිබේ.

අඟහරුවාදා ඇති වූ භූමිකම්පාව දශක ගණනාවක් තුළ ඇල්බේනියාවට බලපෑ ප්‍රබලම භූකම්පනය බව බලධාරීහු පවසති.



Recommended Articles