ඇමෙරිකාවේ සහ රුසියාවේ ආරක්ෂක ප්‍රධානී කතාබහක්


යුක්රේනයේ හමුදා මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුව ප්‍රථම වරට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු දුරකථනය ඔස්සේ සාකච්ඡාවක නිරතවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නිර්නාමිකභාවයේ කොන්දේසිය මත රොයිටර් විසින් උපුටා දක්වන ලද එක්සත් ජනපද නිලධාරියෙක් සඳහන් කර තිබුණේ, පැයක් පුරා පැවති සංවාදයේ ස්වරය වෘත්තීය මට්ටමේ සංවාදයක් වූ බවයි.

මේ අතර, පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කිර්බි කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔස්ටින් විසින් යුක්රේනයේ වහා සටන් විරාමයක් ඉල්ලා සිටි අතර, සන්නිවේදන මාර්ග පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ බවයි.

රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්ශවයේ මුලපිරීම මත සිදු වූ බවයි.

යුක්රේනයේ තත්ත්වය ඇතුළුව ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ මාතෘකා සාකච්ඡා කෙරුණු බවද TASS ප්‍රවෘත්ති ඒජන්සිය ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් පැවසීය.



Recommended Articles