ඇමෙරිකාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත ලෙස සැලකෙන ෆ්ලොරිඩා, ටෙක්සාස් සහ කැලිෆෝනියා හි කොවිඩ්-19 ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් සිටින අතර, මේ වනවිට රට තුළ සමස්ත ආසාදිත අගය තිස් එක් ලක්ෂ අසූ දහස ඉක්මවා තිබේ.
ජෝන්ස් හොපිකින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ නව ආසාදිතයන් 63,247 ක් වාර්තා කර තිබේ. ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කිරීම මෙසේ සමස්ත අගයද වාර්තාගත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ.
ඒ අනුව එක්සත් ජනපදයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත තුන ලෙස සැලකෙන කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා හි නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 3,182,385කි.
කැලිෆෝනියාවේ බ්‍රහස්පතින්දා නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 149ක් වාර්තා වූ අතර එය පැය 24ක කාලයක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වන අතර, සිකුරාදා දිනය වනවිට සමස්ත ආසාදිත අගය 300,000ක් වාර්තා විය. දින 14ක සාමාන්‍යයක් ලෙස කැලිෆෝනියාවේ වෛරසයට ධනාත්මක අනුපාතය ඉහළ යන අතර, වර්තමානයේ එය වයස අවුරුදු 18 ත් 49 ත් අතර පුද්ගලයන් සමග 7.4%ක් බවට පත්ව තිබේ.
ටෙක්සාස් හි බ්‍රහස්පතින්දා මරණ 105ක් වාර්තා වූ අතර, එය පැය 24 පුරා මෙතෙක් වාර්තා වූ ඉහළම අගයක් බව සඳහන් වෙයි.
ෆ්ලොරිඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පත්නිදා නව කොවිඩ්-19 ආසාදිතයන් 11,433ක් සහ මරණ 93ක් වාර්තා කර ඇති බව ෆ්ලොරිඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි. මෙම ප්‍රාන්තයේ දෛනික ආසාදිත අගය 11,000ක් දක්වා ඉහළ ගිය දෙවැනි අවස්ථාව මෙයයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජූලි 4 වැනි දින ආසාදිතයන් 11,458ක් වාර්තා කරන ලදී. සිකුරාදා දිනයේ ෆ්ලොරිඩාවේ මියාමි-ඩේඩ් කවුන්ටි හි 28%ක වෛරසයට ධනාත්මක අනුපාතයක් වාර්තා වී තිබේ.
මේ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (11දා) වාර්තා කළේ, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 134,067ක් බවයි. එමෙන්ම වෛරසය ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 12කට ආසන්න වී තිබේ.