ඇමෙරිකාවේ ආකැන්සාස් හි දැඩි සත්කාර ඇඳන් අවසන්ලු


ඇමෙරිකා එක්සත් ජනපදයේ ආකැන්සාස් ප්‍රාන්තයේ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව අද (09දා) දිනය වනවිට අවසන් වෙමින් පවතින අතර, මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 8ක් පමණක් බව එහි ආණ්ඩුකාරවරයා අනතුරු අඟවයි.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.

අසල්වැසි ටෙක්සාස්හි ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් ප්‍රාන්තයේ රෝහල්වලින් ඉල්ලා සිටියේ අඩු එන්නත් අනුපාත සමග පොරබදමින් සිටින බොහෝ දකුණු ප්‍රාන්ත ඇතුළුව රටේ විවිධ ප්‍රදේශයන්හි ඩෙල්ටා ප්‍රභේදය උත්සන්න වන හෙයින් හදිසි නොවන සැත්කම් කල් දමන ලෙසයි.

රට පුරා, කොවිඩ්-19 ආසාදිතයන් දින තුනක සාමාන්‍ය 100,000ක් පසුකර ඇති අතර, පසුගිය සතියේ 35%ක ආසාදන වර්ධනයක් පෙන්නුම් කර ඇත. ලුසියානා, ෆ්ලොරිඩා සහ ආකැන්සාස් පසුගිය සතියේ වාර්තා වූ වැඩිම ආසාදන වාර්තා කර තිබේ.

එමෙන්ම පසුගිය සතියේ රෝහල් ගතවීම් 40% න් ඉහළ ගිය අතර, තවමත් පහළ අගයක් ගන්නා දර්ශකයක් වූ මරණ 18%ක වර්ධනයක් වාර්තා කළේය.

ආකැන්සාස් ආණ්ඩුකාර ආසා හචින්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම රෝහල්ගත වීමේ වේගය අප දුටුවා. අපේ කොවිඩ් රෝහල් ගතකිරීමේ ඉහළම අගය ඉක්මවා ගොස් තිබෙනවා. දැනට ප්‍රාන්තයේ ඇත්තේ ICU ඇඳන් අටක් පමණයි." යනුවෙනි.

මේ අතර ෆ්ලොරිඩාවේ රෝහල් ගත කිරීම් අඛණ්ඩව දින 8ක් වාර්තාගත ඉහළ මට්ටමක පවතී. ඇතැම් ෆ්ලොරිඩා සිසුන් මේ සතියේ පන්ති කාමරයට යාමට නියමිත බැවින් සමහර පාසල් දිස්ත්‍රික්කවල සිසුන්ට මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් සිටියි. වෛරසය යම් තරමකට පාලනය වනවිට මුඛ ආවරණ භාවිතයෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක් ඉවත් වූ අතර, ඇතැම් පිරිස් හිතාමතාම එන්නත් විදගැනීම මගහැරියේය. කෙසේ වෙතත් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මුඛ ආවරණ භාවිතයේ මෙන්ම, එන්නත ලබා සිටීමේ වැදගත්කම ලොවපුරා වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කරමින් සිටියි.



Recommended Articles