ඇමෙරිකාවටත් ලැව්ගිනි බලපෑම් - කැලිෆෝනියාවේ 5ක් මියගිහින්


ඇමෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැලිෆෝනියා ප්‍රදේශයට බලපා ඇති දරුණු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර වයෝවෘද්ධ කාන්තාවක් සහ ඇගේ මුණුබුරන් දෙදෙනාද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම, ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළ ගිනි නිවන භටයන් දෙදෙනෙකුද පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් පවසයි.

මීට අමතරව, මේ හේතුවෙන් උන්හිටි තැන් අහිමිව නිවාස අත්හැර ගොස් සිටින පිරිස දස දහස් ගණනක් බව ඇමෙරිකානු බලධාරීහු පවසති.

ගිනි නිවන හමුදාව තවමත් මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රබල උත්සාහයක නිරතව සිටියත් මේ දක්වා ගින්න වළක්වා ගැනීමට හැකිවී ඇත්තේ 5%ක පමණ කොටසකි.

මෝටර් රථයක ඇති වූ කාර්මික දෝෂයක් මෙම ගින්නට මූලික හේතුව බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, මේ දක්වා ගින්න විසින් අක්කර 48,000ක භූමියක් විනාශ කර තිබේ. එය සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට වඩා විශාල ප්‍රදේශයක් බවද කියැවෙයි.



Recommended Articles