ඇමෙරිකා එක්සත් ජනපදය චීනයේ විදේශ හා දේශීය ප්‍රතිපත්තිවලට ගරු කිරීම, ආර්ථික සම්බාධක ඉවත් කිරීම සහ සීතල යුද මානසිකත්වය අත්හැරීම චීනයේ බලාපොරොත්තුවක් බව විදේශ ඇමති වැන්ග් යී සෙනසුරාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට පවසා තිබේ.
මේ අතර, රුසියාවට සම්බාධක පැනවීම චීනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමා වැන්ග්ට බලපෑම් කළ බවත්, පෙනෙන විදිහට ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බවත් බ්ලින්කන් වාර්තාකරුවන්ට පවසා තිබුණි.
බ්ලින්කන් සහ වැන්ග් මුණගැසුණේ සෙනසුරාදා ඉන්දුනීසියාවේ G20 රටවල ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ රැස්වීමකින් දිනකට පසුවය.
මෙම රැස්වීම වොෂින්ටන්-බීජිං සබඳතා සඳහා තීරණාත්මක ස්ථානයකට පැමිණියේය. චීනයෙන් පැන නගින "පුළුල්" කාර්මික ඔත්තු බැලීම් සහ සයිබර් අපරාධ ගැන FBI අනතුරු ඇඟවීමත් සමග සහ තායිවානය නැවත අත්පත් කර ගැනීමට චීන හමුදාව ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව සටන් කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෑතකදී ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම හමුව සිදුවිය.
කෙසේ වෙතත් මෙම හමුවේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් පවසා තිබුණේ, "එක්සත් ජනපදය චීනය සමග ගැටුමක් ඇති කිරීමට කිසිදු අදහසක් නොමැති බවට පොරොන්දු වී ඇති හෙයින්, ඔවුන් චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නැවැත්විය යුතුයි" යනුවෙනි.
එසේම, තායිවානය කෙරෙහි චීනයේ ස්වෛරීභාවය පිළිගන්නා නමුත් එය අනුමත නොකරන වොෂිංටනයේ නිල මතය ගැන සඳහන් කරමින්, එක් චීනයේ ප්‍රතිපත්තිය වැළැක්වීමට හා විකෘති කිරීමට එක්සත් ජනපදය උත්සාහ කරන බවට වැන්ග් චෝදනා කළේය.