එක්සත් ජනපදය පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, මුඛ ආවරණ පැලඳිය යුතු බවට ජාතික වශයෙන් වූ විධානයක් ලබාදීම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළිත් ප්‍රතික්ෂේප කර තිබේ.
ෆොක්ස් නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික වශයෙන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමේ විධානයක් තවම ප්‍රකාශ නොවීම ගැන ට්‍රම්ප් පැවසුවේ, "නැහැ, මට මිනිසුන්ට යම් නිදහසක් ලබාදීමට අවශ්‍යයයි, මම එය විශ්වාස කරන්නේ නැහැ. සියලු දෙනාම මුඛ ආවරණ පැලඳිය යුතු විධානයකට මම එකඟ නැහැ. හැමෝම හදිසියේම මුහුණු වසාගෙන වහං වෙන්න අවශ්‍ය නැහැ." යනුවෙනි.
කෙසේ වෙතත් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,641,350 ඉක්මවා ගොස් ඇති අතර, ආසාදිත මරණ සංඛ්‍යාව139,135කි. එසේම ආසන්නතම දින කිහිපය තුළ ඇමෙරිකාවේ දෛනික ආසාදිත අගය වාර්තාගත ඉහළ ගිය අතර, ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනය අවසන් වනවිට සමස්ත ආසාදිත අගය 77,000ක් ඉක්මවීය. මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ආණ්ඩුකාරවරුන් ඔවුන්ගේ බලය යොදමින් මුඛ ආවරණය පැලඳීම අනිවාර්ය කර තිබුණද, රටේ රාජ්‍ය නායකයා එය තඹයකට මායිම් නොකරීම අභාග්‍යයකි.
මෙවැනි පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමෙරිකාවේම වෛද්‍ය විශේෂඥයන් විසින් මුඛ ආවරණ පැලඳිමේ වැදගත්කම පුන පුනා කියා සිටියත්, ට්‍රම්ප් මුඛ ආවරණය දේශපාලනමය කාරණයක් බවට පත්කර ගැනීමේ අනිටු ඵලවිපාක ඉදිරියේදී වඩාත් දරුණු ලෙස ඇමෙරිකානුවන්ට විඳීමට සිදුවනු ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.