ඇමෙරිකානුවන්ට නිවෙස්වලම රැඳෙන්න යැයි ට්‍රම්ප් ඉඟි කරයි


ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ජනතාවට නිවෙස්වල රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ඉඟි කර තිබේ.

ඇමෙරිකානු කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි විසින් සියලු ප්‍රාන්ත සඳහා එවැනි නියෝගයක් නිකුත් නොකිරීමට හේතුව කුමක්දැයි මේ සතිය මුලදී ප්‍රශ්න කර තිබූ වටපිටාවක ජනාධිපතිවරයා මෙම ඉඟි කිරීම සිදුකර ඇත.

එරට ප්‍රාන්තවලින් බහුතරයක් තම ප්‍රාන්ත වැසියන්ට තම නිවෙස්වල රැඳී සිටින ලෙස නියෝග නිකුත් කර ඇති නමුත් ෆෙඩරල් රජය මිනිසුන්ට එසේ කිරීමට මෙතෙක් බල කර නැත.

"මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා" යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.

"මම හිතන්නේ අපි කෙසේ හෝ මේ වනවිට 90%කට ආසන්නයි" යැයි ට්‍රම්ප් කියා සිටියේ නිවසේ රැඳී සිටීමට නියම කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව ගැනය. මන්දයත් එක්සත් ජනපදයේ අවම වශයෙන් ප්‍රාන්ත 41ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මේ වනවිටත් නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කිරීමය.

"අප කතා කරන ප්‍රාන්ත තවමත් අනතුරක නැහැ" යැයි ට්‍රම්ප් කියා සිටියේ මෙම නියෝග තවමත් නිකුත් කර නොමැති ප්‍රාන්ත අතළොස්සක් ගැනය.

"අපේ පාලනයේ දෘෂ්ටි කෝණයෙන් සහ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෘෂ්ටි කෝණයෙන් එය සිදුවෙනවාට මම කැමතියි" යනුවෙන් ජනාධිපතිවරයා තම නිවෙස්වල රැඳී සිටින ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් තමන්ගේ තීරණ ගැනීමට ප‍්‍රාන්තවලට ඉඩදීමට ඇති නැඹුරුව ගැන මෙසේ ඉඟි කළේය.

ෆෙඩරල් රජය විසින් මඟපෙන්වීම් නිකුත්කර ඇත්තේ මිනිසුන් 'හැකිතාක් දුරට' නිවසේ රැඳී සිටිම සඳහාය. එමෙන්ම 10කට වඩා විශාල කණ්ඩායම්වලට රැස්වීමෙන් වළකින්න ලෙසද පවසා තිබේ.



Recommended Articles