ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳී නම්, කොවිඩ්-19 මරණ 70,000ක් වැළැක්විය හැකිලු


එක්සත් ජනපදයේ මේ වන විට 160,000කට වැඩි පිරිසක් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව මියගොස් ඇති අතර, එම සංඛ්‍යාව දෙසැම්බර් මාසය වනවිට දෙගුණයක් විය හැකි බවට අනතුරු ඇඟවෙයි.

නමුත් නිරන්තරයෙන් ඇමෙරිකානු ජනතාව මුඛ ආවරණයක් පැලඳ සිටිනවා නම් දෙසැම්බර් 01දා වනවිට වෛරසයෙන් මියයනු ​​ඇතැයි පුරෝකථනය කරනලද පුද්ගලයන් 295,000න් 70,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරාගත හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ අවධාරණය කරයි.

"මුඛ ආවරණය ඉතා සරල, මිල අඩු, සෑම කෙනෙකුටම බොහොම පහසුවෙන් ලබාගත හැකි සහ පහසුවෙන් පැලඳිය හැකි දෙයක් වුවත්, එය එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වීම බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි ලොව පුරාම අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකියි" මුරේ පවසයි.

එක්සත් ජනපදයේ මුඛ ආවරණ සම්බන්ධයෙන් නවතම තත්ත්වය සලකා බැලීමේදී, අවම වශයෙන් ප්‍රාන්ත 39ක් මෙන්ම වොෂිංටන් ඩීසී සහ පර්ටෝ රිකෝද යම් ආකාරයක මුඛ ආවරණ අවශ්‍යතා ක්‍රියාත්මක කර ඇත. කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් ඊයේ දින 30ක කාලයක් තුළ තම මුඛ ආවරණ නීතිය දීර්ඝ කර ඇත.

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන තම වෙබ් අඩවියේ මුඛ ආවරණ නිර්දේශවලට අනුව, වෑල්ව හෝ වාතාශ්‍ර කවුළු සහිත මුඛ ආවරණ භාවිත නොකරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත. මන්දයත් එසේ කපාටයක් විවෘත කර සිසිලසක් ලබාගැනීමට උත්සාහ කිරීමෙන්, වෛරසය රැගෙන යන ශ්වසන ජල බිඳිතිවලටද ඉන් ගැලවී අන් අයට ආසාදනය වීමට සැලැස්විය හැකි බැවිනි.



Recommended Articles