ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මුල නැති ගසක් වගේ - චීනය


මහජන සහයෝගයක් නොමැති, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කලක් පුරා ප්‍රභවයක් නොමැති ගංගාවක් සහ මූල පද්ධතියක් නොමැති ගසක් වී ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.

තරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් ෂාඕ මෙම ප්‍රකාශය කළේය.

සමීක්ෂණයට අනුව, එක්සත් ජනපදය ඉතා උසස් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස සලකන්නේ 7%ක පිරිසක් පමණි. එහිදී 52%ක් ප්‍රජාතන්ත්‍රවාදය කරදරකාරී හෝ අසාර්ථක යැයි විශ්වාස කරයි. එසේම 35%ක් තම ජීවිත කාලය තුළ දෙවැනි සිවිල් යුද්ධයක් අපේක්ෂා කරන අතර, 25%ක් විශ්වාස කරන්නේ අඩුම තරමින් එක් ප්‍රාන්තයක් හෝ වෙන්වනු ඇති බවයි.

වාර්තාව ගැන සඳහන් කරමින් ෂාඕ පැවසුවේ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තම රටවැසියන් රැවටීමේ උපක්‍රමයක් බවත් විදේශයන්හි තම ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් බවත්ය.

මැයි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පදනම විසින් පත් කරන ලද මත විමසුමක්ද උපුටා දක්විමන් ඔහු පවසා සිටියේ, එක්සත් ජනපදය තම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන බවට රටවල් 53ක ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 44%ක් කනස්සල්ලට පත්ව සිටින බවයි.

එක්සත් ජනපදය ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 14ක් වැය කරමින් බිහිවන්නේ, සම්පූර්ණයෙන්ම දූෂිත රජයක් බව පැවසූ එක්සත් ජනපද චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් ස්ටෝන්ගේ අදහස යළි සිහිපත් කරමින් ෂාඕ පැවසුවේ, එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය ඇත්ත වශයෙන්ම මුදල් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් බවයි.

ජනවාරි මස මුලදී එක්සත් ජනපදයේ කොංග්‍රස් කෝලාහලයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය හෙළිදරව් වූ බවත්, එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් කඩිමුඩියේ ඉවත්වීම වෙනත් රටවලට ප්‍රජාතන්ත්‍රවාදය පැටවීම මාරාන්තික අවසානයක් බව නැවත වරක් ඔප්පු කළ බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles