ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ආර්යාව ජපානයේ නිල සංචාරයක


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් අද (26දා) ජපානයේ නිල සංචාරයක් අරඹා තිබේ.

අද උදෑසන ජපානයට ළඟා වූ ඇමෙරිකානු නායකයා සහ ආර්යාව ජපාන අගමැති ෂින්සෝ අබේ සමග උදෑසන ආහාරය ලබාගත් බව කියැවෙයි.

ඉන් අනතුරුව ටෝකියෝ අගනුවරින් ඔබ්බෙහි වූ චිබා වෙත ගිය නායක දෙපළ එහිදී ගොල්ෆ් ක්‍රීඩාවේද නිරත වී තිබේ.

ජපානය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙඳාමේ අසමානතා දුරු කිරීම ට්‍රම්ප්ගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ බව කියැවෙයි.

මීට අමතරව, උතුරු කොරියාව මෑතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී වැඩි අවධානයක් යොමු නොකර ඇති අතර, ඒවා ඉතා පොඩි මිසයිල හැටියට ඔහු හුවා දක්වා තිබේ.

කෙසේ වෙතත්, පසුගියදා ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා තිබුණේ, උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමෙන් ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝනය කර ඇති බවයි.



Recommended Articles