ඇමෙරිකා දෛනික ආසාදන මිලියන 1.48ක වාර්තා තබයි


ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, පසුගිය සඳුදා දිනයේ පමණක් අමෙරිකා එක්සත් ජනපදය විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1.48ක් වාර්තා කර ඇති අතර, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මධ්‍යයේ ලෝකයේ ඕනෑම රටක ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව ලෙස එය වාර්තාවක් තබා තිබේ.

පසුගිය සතියේ ජනවාරි 2 සිට 8 දක්වා රට පුරා නව කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය රට තුළ වසංගතය ආරම්භයේ සිට සතිපතා වාර්තා වූ ඉහළම ආසාදන සංඛ්‍යාව බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි. එසේම පසුගිය සතියේ නව මරණ 11,000ක්ද වාර්තා වී ඇත.

එක්සත් ජනපදයේ මෑත කාලීන වාර්තාගත ඉහළ ආසාදන සංඛ්‍යාව සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද එරටින් වාර්තා වෙයි.

මේ අතර, එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එක්සත් ජනපද රෝහල් 5,000කින් 24%ක පමණ දැඩි කාර්ය මණ්ඩල හිඟයක් ඇතිව තිබෙන බවයි. එමෙන්ම, තවත් රෝහල් 100කට වැඩි ප්‍රමාණයක් ඉදිරි සතිය තුළ හිඟයක් අපේක්ෂා කරන බවද සඳහන් වෙයි.

මෙම තත්ත්වය තුළ එන්නත් නොකළ සහ බූස්ටර් එන්නත් මාත්‍රාව සඳහා සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලා සිටිති.



Recommended Articles