ඇතැම් රටවල් එන්නත් මාත්‍රා අත්හිටුවීම ගැන විශේෂඥයන් සිය කණස්සල්ල පළකර සිටී


එන්නත හා සෘජු සම්බන්ධතාවක් ඇතිද යන්න තහවුරු කරගෙන නොමැති ඩෙන්මාර්ක කාන්තාවකගේ මරණයක් ඇතුළු සිද්ධීන් කිහිපයක් මුල් කරගනිමින් යුරෝපයේ බොහෝ රටවල් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් ලබාගැනීම අත්හිටුවීම ගැන ලොවපුරා සෞඛ්‍ය විශේෂඥයන් කණස්සල්ලට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම අත්හිටුවීම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපීය ඖෂධ ඒජන්සියේ උපදෙස්වලට පටහැනි වන අතර, ඔවුන් සියල්ලෝම පවසා ඇත්තේ රුධිර කැටි ගැසීම හා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, වාර්තා විමර්ශනය කරන අතරතුර අඛණ්ඩව එන්නත් ලබාදීම සිදුවිය යුතු බවත්ය.

"අද වනවිට, මෙම සිදුවීම එන්නත නිසා ඇති වූවක් බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ නිසා එන්නත් කිරීමේ ව්‍යාපාර අඛණ්ඩව සිදු කිරීම වැදගත් වෙනවා. එමගින් අපට ජීවිත බේරා ගැනීමට සහ වෛරසයෙන් දරුණු රෝග වළක්වා ගත හැකියි" ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියි. එමෙන්ම නවතම වාර්තා තක්සේරු කරමින් සිටින බවද, එම සංවිධානය සඳහන් කළ නමුත් එන්නත සම්බන්ධ ඔවුන්ගේ නිර්දේශයන්හි කිසියම් වෙනසක් සිදුවිය නොහැකි බවද පවසා තිබේ.

එසේම යුරෝපීය ඖෂධ ඒජන්සියද පවසා සිටියේ රටවල් තම එන්නත්කරණය දිගටම කරගෙන යා යුතු බවය. එසේම, එලැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත නමුත් එන්නත් ලබාදීමේ ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය අවධාරණය කළේය.

"මේ සිදුවීම් පිළිබඳ විමර්ශනය අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සියේ අදහසයි."

එමෙන්ම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 11කට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියේදී ලබා දී ඇති අතර, එය මේ වනවිටත් එන්නත අඛණ්ඩවම ලබාදෙන ප්‍රධාන යුරෝපීය රටවල් කිහිපයෙන් එකකි.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගම සිය එන්නත් මාත්‍රාවන්හි ආරක්ෂාව දෙගුණ තෙගුණ කරමින් කියා සිටියේ යුරෝපා සංගමයේ හා බ්‍රිතාන්‍යයේ එන්නත් කරන ලද මිලියන 17ක ජනතාව පිළිබඳව සුපරීක්ෂාකාරීව සමාලෝචනය කිරීමෙන් රුධිරය කැටි ගැසීම් සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැවතත් සොයාගැනීමට නොහැකි වූ බවය.

එම මිලියන සංඛ්‍යාත ජනයාගෙන් තරමක් දැඩි ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් 40කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණක් වාර්තා වී ඇති බවත්, එම අගය මෙවැනි එන්නත්කරණයකදී එන්නත් ලබාදුන් ජනගහනය තුළ ස්වභාවිකව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන මෙවැනි ආසාත්මිකතා සංඛ්‍යාවටත් වඩා අඩු අගයක් බවත් ඇස්ට්‍රාසෙනෙකා සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.



Recommended Articles