ඇතැම් ඇමෙරිකානු බලවේග අපේ සබඳතා පාවා දෙනවා -පූටින් කියයි


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිදුවූ හමුව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් නැගෙන චෝදනාවන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ප්‍රතිචාර දක්වා තිබේ.

රුසියාවේ සිටින තානාපතිවරු මොස්කව් නුවරදී හමුවූ අවස්ථාවේදී පූටින් පවසා සිටියේ ඇමෙරිකාවේ ක්‍රියාත්මක ඇතැම් බලවේගයන්ට ඔවුන්ගේ පටු දේශපාලන අවශ්‍යතා මත ඇමෙරිකානු-රුසියානු සබඳතාව පාවාදීමට අවශ්‍යව ඇති බවයි.

ඇමෙරිකානු නායකයා සහ රුසියානු නායකයා අතර ෆින්ලන්තයේදී පැවැති හමුව සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම දැඩි විරෝධාකල්පයක් ගොඩනැගුණු අතර, රුසියාව පොදු සතුරෙකු ලෙස ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන්වරු පවා සඳහන් කර තිබුණි.

නමුත්, ෆින්ලන්තයේ පැවති හමුවේදී දෙපාර්ශ්වය අතර වඩාත් සාර්ථක හා ප්‍රයෝජනවත් එකඟතා රැසකට පැමිණීමට හැකිවූ බව පූටින් වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද තමාගේ මෙම හමුවට විරෝධය දැක්වූ පාර්ශ්වයන්ට චෝදනා කළේ ඔවුන්ට ඇමෙරිකාව හා රුසියාව අතර සහයෝගයක් ගොඩනැගීමට වඩා යුද්ධයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

එමෙන්ම, ඉදිරියේදීද පූටින් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් පවසා තිබුණි.



Recommended Articles