ආසියාවේ ධනවත්ම අම්බානි ලොව මුල් ධනවතුන් 10 අතර


ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි දැන් ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතරට පත්ව සිටින බව අනාවරණය වෙයි.

අම්බානි යනු ඉන්දියාවේ වටිනාම සමාගමක් වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායකවරයාය.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ඔහුගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔරකල්හි ලැරී එලිසන් සහ ප්‍රංශ ලෝරියල් හිමිකාර ෆ්‍රැන්කොයිස් බෙටෙන්කෝට් මේයර්ස් අභිභවමින් ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්විය. ලැයිස්තුවේ ආසියාව නියෝජනය කරමින් සිටින එකම පුද්ගලයා අම්බානි ය.

අම්බානිගේ නායකත්වය යටතේ, රිලයන්ස් සමූහය තෙල් හා බලශක්ති සමාගමක සිට සිල්ලර වෙළෙඳ සැල් ජාල, ජංගම හා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, ඩිජිටල් වේදිකා සහ තවත් බොහෝ දේ ඇතුළත් පුළුල් සමූහයක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම නව සන්ධිස්ථානය පැමිණෙන්නේ ඇම්බානි විසින් රිලයන්ස් හි ඩිජිටල් තාක්‍ෂණ අංශය වන ජියෝ වේදිකා සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඇ.ඩො.බිලියන 16.5කට වැඩි ආයෝජන ප්‍රමාණයක් රැස්කර ගැනීමෙන් පසුව සහ රිලයන්ස් ව්‍යාපාරයේ තෙල් අංශයට පැවති අභියෝග මධ්‍යයේ ය.



Recommended Articles