ආසියා පැසිෆික් කලාපයේ කොවිඩ්-19 නවතම තතු


ජපානයේ නව ආසාදිතයන් -

ටෝකියෝවේ නව ආසාදිතයන් 144ක් බදාදා වාර්තා වූ අතර, එය අගනුවරදී දිනක වැඩිම ආසාදිත ප්‍රමාණය විය. වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය උත්සාහ කරන බැවින් ජපානයේ විශාල භූමි ප්‍රදේශයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ විශාලතම නගර දෙකෙහි මුඛ ආවරණ අනිවාර්යයි -

මුම්බායි සහ නවදිල්ලි යන නගරවල වැසියන් තම නිවෙස්වලින් පිටතට යන්නේ නම් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත. "මුඛ ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය පැතිරීම සැලකිය යුතු ලෙස අඩුකර ගත හැකියි" යනුවෙන් දිල්ලි මහ ඇමති ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

සිංගප්පූරුවේ ආසාදිත රැල්ලක් -

සිංගප්පූරුවේ තවත් ආසාදන 142කු බදාදා වාර්තා වූ අතර, එය මෙම කුඩා රාජ්‍යයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය විය. යුරෝපයේ සිට නැවත රැගෙන එන දෙවැනි ආසාදිත රැල්ලක් මැඩපැවැත්වීම සඳහා සිංගප්පූරුව අරගලයක යෙදෙයි.

දකුණු කොරියාවේ කම්කරුවන්ට ප්‍රශ්න -

දකුණු කොරියාවේ නිල ගුවන් සේවය වන කොරියන් එයාර්, සිය සේවකයන්ගෙන් 70%කට වඩා අඩු වැටුපකට මාස හයක කාලයක් සඳහා වැටුප් සහිත නිවාඩු ලබාගන්නා ලෙස උපදෙස් දී තිබේ.

චීනයේ සීමාවන් ලිහිල් කිරීම -

දැඩි සීමා කිරීම් ඉවත් කිරීමට පටන් ගැනීමත් සමග චීනය සිය ගුවන් ගමන් වලින් 40%ක් යථාතත්ත්වයට පත්කර ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂිංහුවා පවසයි. පසුගිය වසරේ අගභාගයේදී ප්‍රථම වරට වෛරසය පැතිර ගිය මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ, වුහාන් නගරය යළි විවෘත කිරීමත් සමග එහි විවාහ මංගල්‍යයන් පවා ඉහළ ගොස් තිබේ.

නවසීලන්තයේ නව ආසාදිතයන් අඩුවීම -

නව සීලන්තය නව ආසාදිතයන් අඩුවීම අඛණ්ඩව සිව්වන දිනයටත් වාර්තා කළේය. නමුත් නවසීලන්තය තුළ සීමා දැඩි කර ඇති අතර, එරට වෙත විදෙස්ගතව පැමිණෙන සෑම අයෙකුම අනිවාර්යය නිරෝධායනයකට ලක්විය යුතු බව දන්වා තිබේ.

උතුරු කොරියාවේ කිසිදු ආසාදිතයෙක් නිල වශයෙන් වාර්තා නොවීම -

නව කොරෝනා වෛරසය සඳහා නව පරීක්ෂණ 700කට අධික ප්‍රමාණයක් උතුරු කොරියාව විසින් සිදුකර ඇති අතර, 500කට අධික පිරිසක් නිරෝධායනයෙහි යෙදී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියත්, ප්යොංයැන්ග් පාලනය පවසන්නේ රට තුළ තවමත් කොවිඩ්-19 ආසාදිතයෙකු තහවුරු වී නොමැති බවයි.



Recommended Articles