චීනයේ බටහිර පළාතක් වන ෂින්ජියැන්හි කොවිඩ්-19 ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග, යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා චීනය එම පළාතෙහි විශාල කොවිඩ්-19 පරීක්ෂාවන් දියත් කර තිබේ.
ලොව පුරා ව්‍යාප්ත වීමට පෙර මධ්‍යම චීන නගරයක් වන වුහාන් හි පසුගිය වසරේ අගභාගයේදී වෛරසය ඉස්මතු වීමේ සිට වරින්වර චීනයේ යළිත් වෛරසය හිස ඔසවන අවස්ථා දැකගත හැකි වූ අතර, අවසන් වරට බීජිං නගරය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ පොකුරද වේගයෙන් මැඬපැවැත්වීමට චීනය ක්‍රියා කළේය.
මෙම නව සිදුවීමත් සමග බලධාරීන් කලාපයේ අගනුවර වන උරුම්කි වෙත බොහෝ ගුවන් ගමන් සීමා කර, දේශීය උමං මාර්ග සහ පොදු ප්‍රවාහන සේවා වසා දැමීමෙන් දිනකට පසුව මෙම නව පරීක්ෂණ ආරම්භ කර තිබේ. සෙනසුරාදා වනවිට නගරයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව බලධාරීන් නිවේදනය කළේය.
මෙම වෛරසය සඳහා විශාල වශයෙන් පරීක්ෂණ ආරම්භ කරනුයේ නව සිද්ධීන් වාර්තා වූ ගොඩනැගිලිවල ආශ්‍රිතව වන බවත්, අවසානයේදී උරුම්කි නගරයේ සියලුම ස්ථාන ආවරණය වනු ඇති බවද ප්‍රාදේශීය සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රධානී ෂැං වී සඳහන් කළේය.
"මුළු නගරයම යුද කාලීන අවස්ථාවකට ඇතුළු වී ඇති අතර, සියලු ආකාරයේ කණ්ඩායම් ක්‍රියාකාරකම් අත්හිටුවනු ඇති" යනුවෙන් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
චීනයෙන් මේ වනවිට වාර්තා වී තිබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 85,314ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,644කි.