කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සමග වඩාත් අවදානමට ලක්ව ඇති රාජ්‍යයන් තුන සහ මේ වනවිටත් ආසාදිතයන් මිලියනයේ සීමාව ඉක්මවා ඇති රටවල් වන්නේ එක්සත් ජනපදය, බ්‍රසීලය හා ඉන්දියාවයි. මෙම රටවල් තුනේම නව කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධති, ආර්ථිකයන් සහ ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි හානි පමුණුවා තිබේ.
ලෝක බලවතා එක්සත් ජනපදය
එක්සත් ජනපදය ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රාජ්‍ය වන අතර වසංගතය ආරම්භ වූ දා සිට ආසාදන මිලියන 3.6කට වඩා වාර්තා වී තිබේ. ගෙවීගිය බ්‍රහස්පතින්දා පමණක් නව ආසාදිතයන් 77,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
සති කිහිපයකින් නව දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇති අතර, මෙම දෛනික අගය ජුනි මස මැද භාගයේදී 25,000කින් පමණ ඉහළ ගොස් තිබේ.
එක්සත් ජනපදයේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රාන්ත ප්‍රාන්තවලින් වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය ගණනක් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, බොහෝ රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ඇඳන් නොමැති තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇරිසෝනා සහ ටෙක්සාස් ආදී දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රාන්තවල මෘත ශරීරාගාර පිරීයෑම නිසා ඒවා තැන්පත් කිරීමට ශීතකරණ කන්ටේනර් ට්‍රක් රථ ගෙන්වා තිබේ.
ටෙක්සාස් හි ෆෙඩරල් බන්ධනාගාර තුළ කොවිඩ් -19 ආසාදිත රැඳවියන් 1,072ක් හෙවත් අඩකට වඩා වැඩි පිරිසක් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එක්සත් ජනපදයේ බන්ධනාගාර ආශ්‍රිතව වෛරසය පැතිරීම වේගවත් වී තිබේ.
ලතින් ඇමෙරිකානු බලවතා බ්‍රසීලය
බ්‍රසීලයේ දිනපතා දස දහස් ගණනින් ආසාදිතයන් වැඩිවෙමින් පවතී. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට රට තුළ ආසාදිතයන් 2,046,328ක් සහ මරණ 77,851ක් වාර්තා වී තිබේ.
වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පරිපාලනය දැඩි තර්ජනයකට ලක්ව ඇති අතර, පසුගිය සතියේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ මීට පෙර නව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස බැහැර කළේය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිදුකළ අගුලු දැමීම විවේචනය කළ බොල්සොනාරෝ, ෆෙඩරල් රජයේ ප්‍රතිචාරය නරක ලෙස පෙන්වීම සඳහා ඔවුන් මරණ සංඛ්‍යාව වැඩි කරන බවට චෝදනා කළේය.
මේ අතර, රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව පරිපාලනය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය අත්දැකීම් නොමැති අයෙකුට බවටද දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.
දකුණු ආසියාවේ බලවතා ඉන්දියාව
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආසාදිතයන් 1,003,832ක් වාර්තා වී ඇති අතර, මරණ 25,600කට වඩා වාර්තා වී තිබේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අතර නව ආසාදිතයන් වාර්තා වීමේදී එහි ඉහළම දෛනික ඉහළ යාම වාර්තා කරමින් ඉන්දියාව ආසාදිතයන් මිලියනය ඉක්මවීය.
රට පුරා, බරපතල ලෙස රෝගාතුර වූ ආසාදිතයන් වෙනුවෙන් ඇඳන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ නොමැතිකම හේතුවෙන් රජයේ හා පෞද්ගලික රෝහල්වලින් ඔවුන්ව හරවා යවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම වසංගතයෙන් ඉන්දියාවේ අන්ත දිලිඳුම ජනතාව වඩාත්ම පීඩාවට පත්ව සිටින අතර, එම මිලියන 74ක් පමණ ජනයා ජනාකීර්ණ නාගරික මුඩුක්කු නිවාසවල උරෙන් උර ගැටී ජීවත් වෙති.