ආසාදිතයන් 5යි - ටොංගා වහාම රටේම අගුලු දමයි


මුල් අවධියේ සිටම කොවිඩ්-19 වෛරසයෙන් තොරව සිටි දකුණු පැසිෆික් දූපත් රාජ්‍ය වන ටොංගා හි, බදාදා වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 5දෙනෙකු පමණක් වාර්තා කර ඇති පසුබිමක, වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා ලොක්ඩවුන් සීමා පැනවීමට එරට අගමැතිවරයා කටයුතු කර තිබේ.

පසුගිය මාසයේ ඇති වූ විනාශකාරී ගිනිකඳු පිපිරීම් සහ සුනාමියෙන් රට යථා තත්ත්වයට පත් වීමට අරගල කරන අතරතුර මෙසේ වෛරසය අනාවරණය වූයේ, ආධාර රැගෙන පැමිණි වරායක සේවය කරන සේවකයන් ආශ්‍රිතවය.

ඒ අනුව, වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය මේ ආකාරයෙන් ටොංගා ආක්‍රමණයට පැමිණ ඇති බව විශ්වාස කෙරෙන අතර, වසංගතය වහාම පාලනය කිරීම සඳහා සෑම පැය 48 කට වරක් සමාලෝචන සහිතව බදාදා සවස 6.00 සිට අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීමට ටොංගා අගමැති සියාඕසි සොවාලේනි නියෝග කළේය.

අගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.

ටොංගා පසුගිය 2020 මාර්තු මාසයේ සිට දේශසීමා සීමාවන් පවත්වා ගෙන යන අතර ජාතික එන්නත් ව්‍යාපාරයක් ජනවාරි 6දා දක්වා කොවිඩ්-19 ට එරෙහිව සුදුසුකම් ලත් ජනගහනයෙන් 83%කට (මුළු ජනගහනයෙන් 60%ක් පමණ) සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත.

මෙයින් අදහස් කරන්නේ වයස අවුරුදු 12 ට වැඩි සුදුසුකම් ලත් පුද්ගලයින් 76,911න් පුද්ගලයින් 64,047ක් කොවිඩ්-19 ට එරෙහිව ආරක්ෂා වී ඇති බවය. එමෙන්ම මේ වනවිට එරට ජනතාවට බූස්ටර් මාත්‍රාවද ලබාදෙමින් තිබේ.



Recommended Articles