ආර්ජන්ටිනාවේ මෑත දිනවල නව ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වීමත් සමග එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් බුවනෝස් අයර්ස් හි මෙට්‍රෝ ප්‍රදේශය නැවත අගුලු දැමීමට නියෝග කර තිබේ.
"කොරෝනා වෛරසය කියන්නෙ අදෘශ්‍යමාන සතුරෙක්. ඒ නිසා වෛරසය විසින් යමෙකුව පරාජය කළ බව ආසාදිතයාවත් දන්නේ නැහැ. අපි සුපුරුදු ක්‍රමයටම ආයෙත් යන්න ගියොත්, තත්ත්වය සාමාන්‍ය බව මිනිසුන් සැහැල්ලුවට සිතන්න ගත්තොත්, එය නැවත පැමිණීමට පටන් ගන්නවා." ෆර්නැන්ඩස් සිකුරාදා ප්‍රකාශ කළේ බුවනෝස් අයර්ස් මෙට්‍රෝ කලාපයේ පදිංචිකරුවන් අත්‍යවශ්‍ය සේවා රාජකාරියක් නොමැති නම් හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් මිලදී ගැනීමට නොවන්නේ නම් නිවසේ රැඳී සිටීම ජූලි 17දා දක්වා සිදුකරන ලෙසයි.
ආර්ජන්ටිනාවේ නව ආසාදිතයන්ගෙන් 97%ක්ම බුවනෝස් අයර්ස් මෙට්‍රෝ ප්‍රදේශයෙන් අනාවරණය වී ඇති බව ෆර්නැන්ඩස් පැවසීය.
ජුනි 17 සිට ජනාධිපතිවරයාද සිය නිල නිවස වන ක්වින්ටා ඩි ඔලිවෝස් හි වසංගතය හේතුවෙන් ස්වයං හුදෙකලා වී සිටියි.
ආර්ජන්ටිනාවෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 55,343ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 1,184කි. ගෙවීගිය දිනවල එරට නව ආසාදිතයන් 2,500 ඉක්මවා වාර්තා වී තිබේ.
"නිරෝධායනය කියන්නෙ වසංගතයට පිළියමක්. එය අප දන්නා එකම ක්‍රමයයි" ෆර්නැන්ඩස් සඳහන් කළේය.
"ආර්ථිකය පිරිහෙන නමුත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වේවි. නමුත් වෛරසය ආසාදිතව අපව හැරගිය දහස් ගණනක් දෙනා යළි යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකියාවක් නෑ."