වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවක් සහතික කිරීම සඳහා චීනය වෙත ආහාර ආනයනය කිරීම ඉතා ඉක්මනින් දැඩි රෙගුලාසිවලට ලක්වන බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසර මුලදී චීනයේ රේගු සාමාන්‍ය පරිපාලනය (GACC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග දෙකක් 2022 ජනවාරි 01 වැනි දින සිට බලාත්මක වේ.
ඒ අනුව 248 වැනි නියෝගය මගින් ලියාපදිංචි අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන අතර, 249 වැනි නියෝගය මගින් ආහාර ආනයන ආරක්ෂණ පියවරයන් දක්වා ගෙන ඒම අරමුණු කරයි. GACC පැවසුවේ නව නීති චීනයේ යාවත්කාලීන කරන ලද ආහාර සුරක්ෂිතතා නීතියට අනුකූල බවයි.
"අණපනත් දෙක ආහාර පාරිභෝගිකයින් වඩා හොඳින් ආරක්ෂා කරනවා පමණක් නොව, ආහාර ආනයනය කෙරෙහි පාරිභෝගිකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සහ පරිභෝජනය පුළුල් කිරීමට ප්රතිලාභ ලබාදෙනු ඇති. මේ නියෝග දෙක තිරසාර ආහාර වෙළඳාමක් සඳහා ආහාර සුරක්ෂිතතා අධීක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම, පාර්ශ්වකරුවන්ගේ වගකීම් පැහැදිලි කිරීම සහ පහසුකම් සැලසීම සහ ප්‍රවර්ධනය කිරීමද සිදු කරනවා." යැයි GACC හි ආනයන හා අපනයන ආහාර සුරක්ෂිතතා කාර්යාංශයේ අධ්යක්ෂ බයි කෙෂින් පැවසීය.
ඒ අනුව 248 වැනි නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසු, එක් සැලකිය යුතු වෙනසක් වන්නේ සියලුම විදේශීය ආහාර නිෂ්පාදකයින්, සැකසුම්කරුවන් සහ ගබඩා පහසුකම් GACC සමග ලියාපදිංචි විය යුතු බවයි. ඒවා අතර, මස් සහ ජලජ නිෂ්පාදන වැනි ආහාර වර්ග 18ක් මව් රටේ නිසි බලධාරියා විසින් නිර්දේශ කරනු ලබන ලියාපදිංචියට යටත් වේ.
249 වැනි නියෝගය මගින් GACC සඳහා ආහාර ආනයනය පරීක්ෂා කිරීම සඳහා නව බලාත්මක කිරීමේ මෙවලම් සපයනු ඇති අතර, උල්ලංඝනයන් හඳුනාගත් විට චීනයට ආහාර ආනයනය අත්හිටුවීම හෝ තහනම් කිරීම සිදුකිරීමට බලය පැවරෙයි.
කෙසේ වෙතත් මෙම නීතිරීති යම් විරෝධතාවලට මුහුණ දී ඇත. ව්‍යාපාරවලට ගැලපීමට කාලය අවශ්‍ය බව පවසමින් රටවල් හතක රාජ්‍ය තාන්ත්‍රිකයින් සහන කාලය තවත් මාස 18කින් දීර්ඝ කරන ලෙස ඉල්ලා ඇත. නමුත් GACC පැවසුවේ මෙම නීති සහ ඒවායේ සංක්‍රාන්ති කාලය ජාත්‍යන්තර වෙළෙඳ සංවිධානවල අවශ්‍යතාවලට සම්පූර්ණයෙන්ම අනුකූල වන බවයි.
2020 දී ඩොලර් බිලියන 100ක් ඉක්මවූ චීනයේ ආහාර ආනයන වෙළෙඳ පොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම වසරේ එය 20%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
සමහර රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අපනයනකරුවන් නව නීති වෙළෙඳ බාධක ලෙස සැලකීම සමග චීනය එකඟ නොවන අතර, චීනයේ ජාත්‍යන්තර ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියු බෝචෙන්ග් ව්‍යාපාර සඳහා චීනයේ විවෘතභාවය අවධාරණය කළේය.
"වසර විස්සකට පෙර අපේ තීරුබදු 23% කට වඩා වැඩියි. දැන් එය 15%කට වඩා ටිකක් වැඩියි. එය සැලකිය යුතු අඩු කිරීමක්. චීනයේ තීරුබදු අනුපාතය ගෝලීය සාමාන්‍යයෙන් හතරෙන් පංගුවක්." ලියු වැඩිදුරටත් සඳහන් කළේය.