නව කොරෝනා වෛරසය වසංගතය ආරම්භ වූදා සිට පළමු වතාවට ධවල මන්දිර මාධ්‍ය බලකායට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුඛ ආවරණයක් පැළඳ සිටින ආකාරය දැකගත හැකිවිය.
මේරිලන්ඩ්, බෙතෙස්ඩා හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.
තමා හමුදා රෝහලේ සිටියදී මුඛ ආවරණයක් පැළඳීම ඉතා සුදුසු දෙයක් බව ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා පැවසීය.
"මම හිතන්නේ ඔබ රෝහලේ සිටින විට අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳිය යුතුයි. එය මට කිසිසේත් අපහසු නොවනු ඇති."
වසංගතය අතරතුර මේ දක්වා ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳ සිටීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර, පොදු දැනුමක් අවශ්‍ය වන මහජන සෞඛ්‍ය පියවරක් වැලඳ ගැනීම සඳහා තම ආධාරකරුවන් දිරිමත් කරනවා වෙනුවට මෙතෙක් කල් ඔහු කළේ මුඛ ආවරණයක් පැලඳීම සමච්චලයට ලක්කිරීමය.
මේ ආකාරයෙන් ට්‍රම්ප් මුඛ ආවරණයක් පැලඳ සිටීමෙන් ඔහුගේ ආධාරකරුවන්ද නිරායාසයෙන් එවැන්නක් පැලඳීමට ධෛර්යමත් කරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණත්, ඇමෙරිකාවේ ආණ්ඩුකාරවරුන් රැසකගේ ඉල්ලීම වී තිබුණේ මුඛ ආවරණ පැලඳීම රට පුරා බලාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,243,961ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 134,740ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.