අවලංගු කළ 9-11 උපහාරය පැවත්වීමට යළි සූදානම් වේ


9/11 ත්‍රස්ත ප්‍රහාරයේ 'ආලෝකයේ උපහාරය' අවලංගු නොකර මේ වසරේදීත් පැවැත්වීමට හැකිවන බවත්, ඒ සඳහා නිව්යෝක් සෞඛ්‍ය නිලධාරීන් සහ අධීක්ෂණය සපයන බවත් නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.

2001 සැප්තැම්බර් 11 වැනි ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරමින් පැවැත්වෙන නිව්යෝක් නගරයේ 'ආලෝකයේ උපහාරය' නව කොරෝනා වසංගතය හමුවේ අවලංගු කළ බව 9/11 අනුස්මරණ හා කෞතුකාගාරය මීට දින කිහිපයකට පෙර නිවේදනය කළේය.

එම නිවදේනයේ දැක්වුණේ, "වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු අපගේ හවුල්කරුවන් සමග සාකච්ඡා කර මෙම ඇදහිය නොහැකි තරම් දුෂ්කර තීරණයට අප එලැඹුණා. මන්දයත් මේ ආලෝකයේ වාර්ෂික උපහාරය සම්පාදනය කිරීමට විශාල කාර්ය මණ්ඩලයක් අපට අවශ්‍ය වන අතර, මේ අවස්ථාවේදී එය අවදානම් සහගතයි." ලෙසිනි. "ප්‍රහාරයේ 20 වැනි සිහිපත් කිරීම සිදුවන 2021 දී මෙම සුවිශේෂී උපහාරය නැවත ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා." යැයි වැඩිදුරටත් දැක්වුණි.

කෙසේ වෙතත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසන්නේ, 9/11 අනුස්මරණ හා කෞතුකාගාරයේ 'ආලෝකයේ උපහාරය' සම්ප්‍රදාය මේ වසරේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවන පරිදි නිව්යෝක් සෞඛ්‍ය සේවකයන් සහ අධීක්ෂණය සැපයීමට කටයුතු කරන බවය.

"9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා."

"අපි කවදාවත් අමතක කරන්නේ නෑ." කියෝමෝ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමිය අසල නිවුන් කුලුනුවල හැඩයට සමාන වන අහස දෙසට සැතපුම් 4 ක් (කිලෝමීටර 6.4 ක්) ළඟා වන දැවැන්ත විදුලි පහන් 88කින් සමන්විත නිල් ආලෝක කදම්බ දෙකක් මෙම අනුස්මරණයේදී දක්නට ලැබෙයි.

මේ අතර, අද (16දා) අලුයම වනවිට එක්සත් ජනපදය විසින් වාර්තා කර තිබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,359,432ක් වන අතර, මරණ 170,000කට ආසන්න වී තිබේ. එහිදී නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් මරණ 32,833ක් වාර්තා වී ඇත.



Recommended Articles