අභ්‍යවකාශ මධ්‍යස්ථානය ළඟදී සංචාරකයන්ට විවෘත වෙනවාලු


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වර්ෂ 2020 සිට සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය අවසර ලබා දී තිබේ.

ඒ අනුව, සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බවද නාසා ආයතනය නිවේදනය කර ඇත.

එහිදී, වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල නිරතවීමට නියමිත බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබින් ගේටන්ස් පවසයි.

මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු වැනි කොටස කක්ෂගත කෙරුණේ වර්ෂ 1998 දීය. ඒ අනුව, වර්ෂ 2011 නොවැම්බර් මස සිට ගගනගාමීහු නොකඩවා එහි රැඳී සිටිති.

"නාසා ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙළෙඳ අවස්ථා සඳහා විවෘත කරනවා. අපි කවදාවත් මේ වගේ දෙයක් කරලා නැහැ" යැයි ප්‍රධාන මූල්‍ය නිලධාරී ජෙෆ් ද විට් පවසයි.

ඒ අනුව, විදෙස් රටක සංචාරය කරන ආකාරයට පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට ආසන්න කාලයකට අවසරය එසේත් නැත්නම් වීසා ලැබෙන බව නාසා ආයතනය නිවේදනය කරයි. කෙසේ වෙතත්, සංචාරකයන් රැගෙන යනු ලබන්නේ ඇමරිකානු අභ්‍යවකාශ යානාවක පමණක් බවද සඳහන් කර ඇත.

එහිදී, පෞද්ගලික ව්‍යාපාර කණ්ඩායම්වලට ඇතුළු වන පිරිස තීරණය කළ යුත්තේ අදාළ සමාගම් විසින් වන අතර, පෞද්ගලික ගගනගාමීන් අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලබා සිටිය යුතුය. එමෙන්ම, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවිය යුතුය.

මෙම ගමන් සඳහා සමාගම් දෙකකින් යානා බදු ගැනීමට නාසා ආයතනය දැනටමත් ක්‍රියාකර ඇති අතර, එහිදී, එලොන් මස්ක් හිමිකම් කියන SpaceX සහ බෝයිං ආයතනය නිපදවන Starliner එම යානා මාදිලි ද්විත්වයයි.

මේ දක්වා, සියලු වෙළෙඳ කටයුතු සඳහා මෙන්ම පෞද්ගලික ගගනගාමීන් ලාභ ලැබීම සඳහා සිදු කරන පරීක්ෂණ සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබුණි. කෙසේ වෙත් ඇමෙරිකාව මේ වනවිට එම මධ්‍යස්ථානයේ අයිතිය සම්පූර්ණයෙන් තමා සතු යැයි පෙන්වීමට උත්සාහ කළද, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය ඇත්තේ නාසා ආයතනයට නොවන අතර, එය රුසියාව සමග එක්වී 1998 දී ගොඩනැගුණකි. මේ සම්බන්ධයෙන් රුසියාවේ මතය තවම හෙළි වී නැත.



Recommended Articles