අපි බොල්සොනාරෝට බය නෑ ඒත් වෛරසයට බයයි


ලොව දෙවැනි වැඩිම කොවිඩ් ආසාදිතයන් හා මරණ වාර්තා වන බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වෛරසය ගණන් නොගෙන කටයුතු කළද, තමන් ඒ ගැන අවදියෙන් පසුවන බව එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පවසති.

රියෝ නුවර පොලිස් නිලධාරීන් පවා ඇතුළු නොවන ඇතැම් මුඩුක්කු ප්‍රදේශවල ආයුධ සන්නද්ධව හැසිරෙන මෙම මැර කණ්ඩායම් එම ස්ථානවල ඇඳිරි නීතිය පැනවීම, සමාජ දුරස්ථකරණ සීමාවන් ඇති කිරීම මෙන්ම, ආහාර නොමැති ස්ථානවලට ආහාර සැපයීම පවා සිදුකරන බව අනාවරණය වී තිබේ.

නම සඳහන් නොකළ එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පවසා තිබුණේ, "අපි බොල්සොනාරෝට බය නෑ. ඒත් අපි වෛරසයට බයයි" යනුවෙනි. "අත්තටම මේ වෛරසයෙන් කොපමණ මිනිසුන් මියගොස් ඇතිද යන්න අපට හරිම තොරතුරක් නෑ. ඔබ නිවෙස්වලට වී ඔබේ ආරක්ෂාව සලසා ගත්තේ නැත්නම්, රෝහල් වෙත යෑමෙන් ඔබේ මරණ සහතිකය ලියාගැනීමට පුළුවන්." හෙතෙම වැඩිදුරටත් පැවසීය.

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 850,514ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එක්සත් රාජධානියද පසුකරමින් වෛරසය ආශ්‍රිත වැඩිම මරණ වාර්තා වන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇති බ්‍රසීලයෙන් මේ වනවිට මරණ 42,720ක් වාර්තා වෙයි.



Recommended Articles